හැබැයි දැන් තත්ත්වය සම්පූර්ණයෙන්ම කණපිට හැරිලා. හිතාගන්නවත් බැරි විදිහට අපේ රටේ තරුණ කොල්ලෝ වගේම පාසල් යන පොඩි දරුවොත් මේ මාරාන්තික අනතුරට අතවනමින් ඉන්නවා කියන කම්පනය දනවන පුවතක් තමයි සෞඛ්‍ය අංශවලින් මේ විදිහට වාර්තා වෙන්නේ.
ලෝක පිළිකා දිනයට සමගාමීව "පිළිකාවෙන් තොර හෙටක් සඳහා පෙළ ගැසෙමු" කියන තේමාව යටතේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැත්වුණු මාධ්‍ය හමුවකදී, ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා දත්ත විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ජයසේකර මහතා මේ ඇඟ කිලිපොලා යන ඇත්ත කතාව හෙළි කළා.
අලුත්ම දත්තවලට අනුව මේ වෙද්දී ලංකාවේ මුඛ පිළිකා රෝගීන් 3800ක්ම හොයාගෙන තියෙනවා. මේකෙන් 3000ක්ම පිරිමි උදවිය! හැමෝම පුදුම කරවන කාරණාව තමයි, ඉස්සර වගේ නෙවෙයි දැන් අවුරුදු 20ත් 30ත් අතර ඉන්න තරුණ කොල්ලොත් මේ රෝගයට ගොදුරු වෙන්න පටන් අරන්.
මේ දවස්වල පාසල් ළමයි අතරේ 'බාවා', 'තූල්' සහ පැකට් කරපු පුවක් කන එක මහා ලොකු ෆැෂන් එකක් වෙලා කියලයි වෛද්‍යවරු කියන්නේ. මේ මුඛ සෞඛ්‍ය සමීක්ෂණවලින් පෙනී ගිහින් තියෙන විදිහට, මේ පුරුද්ද නිසා අනාගත පරපුරට වෙන විනාශය හිතාගන්නවත් බැරි තරම් දරුණුයි. දුම්කොළවල පිළිකා කාරක 28කුත්, පුවක්වල පිළිකා කාරක 4කුත් තියෙනවා කියන එක මේ දරුවෝ දන්නේ නැහැ. අන්තිමේදී ෆැෂන් එකට කන්න ගිහින් ජීවිතෙන් වන්දි ගෙවන්නයි මේ ලෑස්ති වෙන්නේ.
මේ අවාසනාවන්ත තත්ත්වය ගැන ඔබ දැනගත යුතුම කරුණු..
වැඩියෙන්ම අවදානමේ ඉන්නේ කවුද? බුලත් විට කන, සිගරට් බොන සහ මත්පැන් බොන අය. විශේෂයෙන්ම කම්කරුවන්, වතු කම්කරුවන්, ධීවරයන්, පෙදරේරු සහ මේසන් බාස්වරු වගේ රැකියාවල නිරත වෙන අය මේකට ගොදුරු වෙන ප්‍රවණතාවය ගොඩක් වැඩියි.
සුව කරගන්න පුළුවන්ද? ජාතික දන්ත රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය තනූජා පතිරාජ මහත්මිය කියන විදිහට මේ ලක්ෂණ ආපු ගමන්ම වෛද්‍යවරයෙක් ළඟට ගියොත් පිළිකාව පැතිරෙන්න කලින්ම සුව කරගන්න පුළුවන්. හැබැයි ලොකුම ඛේදවාචකය තමයි ගොඩක් අය සායනවලට එන්නේ රෝගය ඔඩුදුවලා ගොඩක් ප්‍රමාද වුණාට පස්සෙයි.
ඉතින් ඔයාගේ ගෙදර, පවුලේ හරි යාළුවෙක් හරි මේ වගේ නරක පුරුදු වලට ඇබ්බැහි වෙලා ඉන්නවා නම්, අදම එයාලව දැනුවත් කරන්න. මොකද පිළිකාව කියන්නේ දැන් වයස බලලා එන ලෙඩක් නෙවෙයි!