මේක නිකන්ම නිකන් ඇටකටු ගොඩක් නෙවෙයි, ලෝකේ මෙතෙක් වැඩිම මිලකට අලෙවි වුණු ඩයිනසෝරයා!
නිව්යෝර්ක්වල පැවැත්වුණු ප්‍රසිද්ධ 'සදබීස්' (Sotheby's) වෙන්දේසියේදී තමයි මේ පුදුම හිතෙන ගනුදෙනුව වෙලා තියෙන්නේ. මේකට කලින් 2024 අවුරුද්දේ ස්ටෙගෝසෝරස් (Stegosaurus) ඩයිනසෝරයෙක් තමයි වාර්තාව තියලා තිබුණේ. හැබැයි ඩොලර් මිලියන 50 සීමාව පැනපු ලෝකේ පළවෙනි ඩයිනසෝරයා විදිහට මේ ටිරන්නෝසෝරස් රෙක්ස් (T. rex) ඉතිහාසයට එකතු වුණා. වෙන්දේසි කරපු අය ආදරේට මෙයාට දාලා තියෙන නම තමයි "ගස්" (Gus).
මෙයාගේ උස අඩි 12කට (මීටර් 4ක්) වඩා වැඩියි.
මේක ලෝකෙන් හම්බවුණු වඩාත්ම සම්පූර්ණ ඩයිනසෝර පොසිලවලින් එකක්. ඇඟේ අස්ථිවලින් 60%ක්ම හොයාගෙන තියෙනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි.
2021 අවුරුද්දේ අමෙරිකාවේ සවුත් ඩැකෝටාවල ඈත ගොවිපළකින් තමයි මේ යෝධයාව හොයාගෙන තියෙන්නේ. අවුරුදු තුනක් තිස්සේ, පොළොව දියවෙන තරම් රස්නේ තියෙන ගිම්හාන කාලවලදී තමයි කට්ට කාලා මේ ඇටකටු ටික ගොඩඅරන් තියෙන්නේ. ඊටපස්සේ තවත් අවුරුදු තුනක් රසායනාගාරයක් ඇතුළේ මහන්සි වෙලා තමයි මේ ටික ඔක්කොම එකට එකතු කරලා හිටවගෙන තියෙන්නේ.
හැබැයි මාරම සීන් එක ඒක නෙවෙයි. මේ 'ගස්' කියන්නේ නිකන්ම නිකන් පාඩුවේ හිටපු කෙනෙක් නෙවෙයි, කාලෙක කැලේ හොල්ලගෙන හිටපු ලොකු චණ්ඩියෙක්! පරීක්ෂණවලින් හෙළිවෙලා තියෙන විදිහට මෙයාගේ හිස් කබලේ වෙනත් සතෙක් හපා කාපු පාරවල් තියෙනවා. ඒ වගේම ජීවත්වෙලා ඉද්දි ඉළ ඇට කැඩිලා ආයෙත් සනීප වුණු ලකුණුත් තියෙනවාලු. මේවායින් පේන්නේ මෙයා අනිත් ඩයිනසෝරයෝ එක්ක මාර ගේම් ඉල්ලලා, සත්තු දඩයම් කරන්න ගිහින් ලොකු වලියක් දාගෙන තියෙනවා කියන එකයි.
කොහොම වුණත්, රුපියල් කෝටි ගණනක් වියදම් කරලා මේ අතීත චණ්ඩියාව ගෙදර අරන් ගිය ඒ අද්භූත ධනවතා කවුද කියන එක නම් වෙන්දේසි සමාගම තාමත් ලෝකෙටම රහසක් විදිහටයි තියාගෙන ඉන්නේ. සමහරවිට ළඟදීම මේ ඇටකටු ගොඩ ලෝක ප්‍රසිද්ධ කෝටිපතියෙකුගේ සාලෙක ලස්සනට තියෙනවා බලාගන්න අපිට පුළුවන් වෙයි!