හැබැයි මේ දවස්වල ජපානයේ තියෙන අධික රස්නේ නිසා ටෝකියෝ ආණ්ඩුකාර යුරිකෝ කොයිකේ (Yuriko Koike) අලුත් තීරණයක් ගත්තා. ඒ තමයි "Tokyo Cool Biz" වැඩසටහන යටතේ පිරිමින්ට කෝට්-ටයි අයින් කරලා, ටී-ෂර්ට් එකයි කොට කලිසමයි ඇඳලා ඔෆිස් එන්න අවස්ථාව දෙන එක.
ගෝරිල්ලා ක්ලිනික් ආයතනය කරපු සමීක්ෂණයකින් හෙළිවෙලා තියෙන්නේ 53.5%ක්ම කාන්තාවන් පිරිමි කොට කලිසම් ඇඳගෙන වැඩට එනවාට සම්පූර්ණයෙන්ම විරුද්ධයි කියලයි. ඇයි දන්නවද?
මේ කාන්තාවන් කියන විදිහට පිරිමින්ගේ කකුල්වල තියෙන රෝම (Leg hair) දැකීම ඔවුන්ට ලොකු අපහසුතාවයක්ලු! දැන් මේකට අන්තර්ජාලය ඇතුළේ අලුත්ම නමකුත් දාලා. ඒ තමයි 'සුනෙහාරා' (Sunehara). ඒ කියන්නේ 'පාදවල රෝම මගින් සිදුවන හිරිහැරය' කියන එකලු!
කාන්තාවන් තවත් පැත්තකින් චෝදනා කරන්නේ, තමන්ට තවමත් දැඩි විධිමත් ඇඳුම් නීති (Dress codes) තියෙද්දී පිරිමින්ට විතරක් මේ වගේ කොට කලිසම් ගහලා සැහැල්ලුවට එන්න දෙන එක අසාධාරණයි කියලයි. "උන්ට විතරක් සැප, අපිට නීති" කියන එක තමයි ඔවුන්ගේ තර්කය වෙලා තියෙන්නේ.
කොහොම වුණත් මේ ඝෝෂාව මැද ටෝකියෝ පරිසර දෙපාර්තමේන්තු නිලධාරී නොබොරු වටනාබේ (Noboru Watanabe) BBC එකට කියලා තියෙන්නේ, මේක කාටවත් බලහත්කාරයෙන් කරපු දෙයක් නෙවෙයි, රස්නෙන් බේරිලා සේවකයින්ට පහසුවෙන් වැඩ කරන්න දුන්නු අවස්ථාවක් විතරයි කියලයි.
සටහන: බලන්නකො ඒකෙත් හැටි නේද? අපේ රටේ නම් රස්නේ වැඩි වුණාම ඕන කෙනෙක් කොට කලිසමක් ගහගෙන ඉන්න එක සාමාන්‍ය දෙයක් වුණාට, ජපානයේ පිරිමින්ගේ කකුල්වල මයිල් ටිකත් දැන් ජාත්‍යන්තර ප්‍රශ්නයක් වෙලා!