ඒ අතර මේ මිතුරන් දෙදෙනාගේ කඳුළු කතාව ඇසූවන්ට පවා ඇති කරන්නේ කම්පනයක්. කාගේත් ආදරය දිනාගත්ත ඔවුන්ට මේ මොකක්ද වුණේ..?
අවාසනාවත ලෙස ජීවිතයෙන් සමුගත්ත, ඔවුන් දෙදෙනාගේම මව්වරුන් අද හඬාවැටෙනවා. ඒ තමන්ගේ ඇස් දෙකවන් දරුවන්ට මේ අත්වුණු හීනෙකින්වත් නොසිතූ ඉරණම නිසයි..
" දවස් දෙක තුනකට කලින් මේ කර්මාන්ත ශාලාවේ වැඩට ගිය මගේ දරුවට වෙච්ච දෙයක් දෙයියනේ.. අම්මා කෙනෙක් විදිහට මං මේ දුක කොහොම ද දරා ගන්නේ..." යැයි හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ ආරක්ෂක හිස් වැසුම් කර්මාන්ත ශාලාවක හටගත් ගින්නෙන් මියගිය දෙනියාය පදිංචිව සිටි 19 හැවිරිදි දිලිප් මධුශංඛ තරුණයාගේ මව හැඬු කදුළින් පැවසුවා.
එසේම ඔහු ගැන ඇය මතකය අවදි කළේ කඳුළු පිරි දෙනෙතින් මෙන්න මේ විදිහටයි.
" මගේ දරුවයි මියගිය සහන් පුතයි කුඩා කාලයේ ඉඳලා එකට හැදුනෙ වැඩුණෙ. ඒ වගේම දෙන්නා එකටයි ගමන් බිමන් ගියේ. දැන් දවස් දෙක තුනකට කලින් අපේ ළමයයි, සහන් පුතයි
දෙන්නා මේ රස්සාවට ගියා. අම්මේ.. මං ගිහින් එන්නම්.. කියලයි පුතා ගියේ. එහෙම ගිය පුතාව අපි මෙහෙම දකින්න බලාපොරොත්තු වුණේ නෑ අනේ මගේ දරුවා.."
මියගිය දෙනියාය පදිංචිව සිටි 19 හැවිරිදි සහන් උදාරගේ මව තම දරුවාගේ මතක අවදි කළේ මෙන්න මේ විදිහටයි..
" මට හිතා ගන්න බැහැ මේ මොකක්ද වෙලා තියෙන්නෙ කියලා. ගින්නට අහුවෙලා මගේ දරුවගේ ජීවිතය නැතිවුණා. මගේ දරුවත් එක්කයි දිලිප් පුතත් වැඩ කළා. පුතයි, තව දුවෙකුයි කෑම කාලා උඩ තට්ටුවට ගිහින් තියෙනවා. ඒ උඩට යන කොට පොඩි ගින්නක් වගේ ඇතිවෙලා තියෙනවා.
ඒ ඇවිලෙන කොට ඒ දුව කියලා තියෙනවා මල්ලි ඉක්මණටම පැනගමු.. ගින්නක් එනවා කියලා. ඒ දුව පල්ලෙහාට බහිනවත් එක්ක පුතා තව යාළුවො තුන්දෙනෙක් උඩ ඉන්නවා කියලා ගිහින් තිබෙනවා. එතැනින් එහාට දන්නෙ නැහැ මොකක්ද වුණේ කියලා..."