මෙලෙස අවාසනාවන්ත ලෙස සමුගෙන ඇත්තේ පානදුර හිරණ ප්‍රදේශයේ පදිංචිව සිටි 20 හැවිරිදි වියේ පසුවූ ඕදිත්‍යා මුතුමාලි විජේසේකර නැමැති රූමත් යුවතියයි. පෞද්ගලික විශ්වවිද්‍යාලයක මනෝවිද්‍යාව හදාරමින් සිටි ඇය, හදිසියේ ඇතිවූ ශ්වසන අපහසුතා රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසුවයි මෙලෙස සඳහටම දෙනෙත් පියාගෙන ඇත්තේ.
කුඩා කල සිටම වරින් වර හුස්ම ගැනීමේ අපහසුතාවලින් පීඩා වින්දත්, ඕදිත්‍යා මෙතරම් ඉක්මනින් තමන්ව දමා යාවි කියා ඇගේ පවුලේ අය හෝ යහළුවන් කිසිසේත්ම හිතුවේ නෑ. වෙනදාටත් මෙලෙස අසනීප වූ විට රෝහල්ගත කර ප්‍රතිකාර ලබාගෙන ඇය සුව වී ගෙදර ආ බැවින්, මෙවරත් ඇය සුව වේවි යැයි සියල්ලන්ම බලන් සිටියා.
පසුගිය 21 වැනිදා හදිසියේම නැවතත් අසනීප වූ ඕදිත්‍යා, වෙනදා මෙන්ම පානදුර රෝහල වෙත තමන්ගේ පයින්ම ඇවිදගෙන ගොස් වෛද්‍යවරයා අසලට ගියත්, කිසිවෙකුත් නොසිතූ ලෙස පැය භාගයක් වැනි ඉතා කෙටි කාලයක් තුළ ඇය සියල්ලන්වම කඳුළු වල ගිල්වමින් සඳහටම නිහඬ වී තිබෙනවා.
පානදුර ප්‍රකට ව්‍යාපාරික විජේසේකර සහ නිලංතිකා යුවලගේ වැඩිමහලු දියණිය වූ ඇයට 16 හැවිරිදි මල්ලියෙක් සහ 13 හැවිරිදි නංගියෙක් සිටිනවා.
පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා, ශිෂ්‍යත්වය සමත්ව බම්බලපිටිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයට ඇතුළත් වූ ඕදිත්‍යා, සාමාන්‍ය පෙළ විභාගයෙන් "A" සාමාර්ථ 8ක් සහ "B" සාමාර්ථයක් ලබාගත් ඉතා දක්ෂ සිසුවියක්.
මනෝවිද්‍යාව හදාරන අතරතුර ඇගේ ලොකුම හීනය වී තිබුණේ දිනෙක ගුවන් සේවිකාවක් (Air Hostess) ලෙස සේවය කිරීමයි. නමුත් ඒ සියලු සුන්දර හීන බොඳ කරමින්, මුළු හිරණ ගමම කඳුළින් නහවා ඕදිත්‍යා ඉකුත් 24 වැනිදා අවසන් ගමන් ගියා.