රටේම ඉන්න හාමුදුරුවරු එකතු වෙන දැවැන්ත 'මහ සඟ සමුළුවක්' අද පවත්වන්න ඔක්කොම ලෑස්ති කරලා ඉවරයි. මේක සංවිධානය කරන්නේ ශාසනාරක්ෂක සංඝ සභාවෙන්.
අද හවස 2.30 ට කොළඹ කොටුව පැත්තේ තියෙන ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ (SLECC) තමයි මේ වැඩේ ලෑස්ති කරලා තියෙන්නේ.
අපිට ආරංචි විදිහට මේ දැවැන්ත සමුළුව කැඳවලා තියෙන්නේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි යන නායක හාමුදුරුවරුන්ගේ මූලිකත්වයෙන්. ඒ වගේම පූජ්‍ය උලපනේ සුමංගල හිමි, පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමි වගේ ප්‍රබල චරිතත් මේකේ සම්බන්ධීකරණ වැඩකටයුතු කරනවා කියලත් ආරංචියි.
කට්ටිය හිතන්න පුළුවන් මේක ආණ්ඩුවට විරුද්ධව කරන වැඩක් හරි, එහෙමත් නැත්නම් මොකක් හරි දේශපාලන පක්ෂයකට සපෝට් එකක් දෙන්න යනවා හරි කියලා. හැබැයි සංවිධායකයන් පැහැදිලිවම කියන්නේ මේක දේශපාලන වැඩක්වත්, යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් බලගන්වන්න කරන වැඩක්වත් නෙවෙයි කියලයි.
"සුඛා සංඝස්ස සාමග්ගි" කියන තේමාවෙන් තමයි මේක කරන්නේ. ප්‍රධානම අරමුණ වෙලා තියෙන්නේ රට දැය වනසමින් ඉන්න මිසදිටු බලවේගවලට සැබෑ බෞද්ධ බලය පෙන්නන එකලු. ඒ වගේම සිංහල බෞද්ධ ජනගහනය අඩුවීම, ළමයි මහණ කරන්න දෙමව්පියන්ගේ තියෙන උනන්දුව අඩුවීම, ගමයි පන්සලයි ඈත් වීම වගේ කාලීන ප්‍රශ්න ගැන මෙතනදී ලොකුවටම කතා කරන්න යනවා කියලත් අභ්‍යන්තර ආරංචි මාර්ග කියනවා.
කොහොම වුණත් දිවයිනේ නන්දෙසින් මහා සංඝරත්නය අද මේ වෙනුවෙන් කොළඹට වැඩම කරන නිසා, අද හවසට SLECC එක පැත්තේ ලොකු ජනාකීර්ණ බවක් නම් බලාගන්න පුළුවන් වෙයි