හැබැයි මේ ලාබෙට ගේන ප්ලාස්ටික් භාජන අපේ ජීවිතේට කොයිතරම් ලොකු අනතුරක්ද කරන්නේ කියලා සෞඛ්‍ය අංශවලින් කම්පනයට පත්කරන හෙළිදරව්වක් කරලා තියෙනවා.
සෞඛ්‍ය අමාත්‍යංශයේ, පරිසර සෞඛ්‍ය, වෘත්තිය සෞඛ්‍ය හා ආහාර ආරක්ෂණ අධ්‍යක්ෂ, වෛද්‍ය චාන්දනී විතානගේ මහත්මිය පවසන විදිහට මේ නිසි ප්‍රමිතියක් නැති ප්ලාස්ටික් භාජනවලින් අපි කෑම කනකොට, මයික්‍රෝ ප්ලාස්ටික් සහ BPA කියන දරුණු විෂ රසායනික ද්‍රව්‍ය කෙළින්ම අපේ ඇඟට ඇතුළු වෙනවා. විශේෂයෙන්ම රස්නේ කෑම, තෙල් සහිත හොදි වගේ දේවල් මේ ප්ලාස්ටික් භාජනවලට දැම්මම, ඒ වගේම ප්ලාස්ටික් භාජනය පරණ වෙනකොට මේ විෂ එකතු වීම දෙගුණ තෙගුණ වෙනවා. අපි උදේට ගෙනියන කෑම පාර්සලේ පොලිතීන් එකේ බැඳපු කෑම එකෙනුත් විශාල විෂ ප්‍රමාණයක් ඇඟට යනවා.
මේ විෂ ඇඟට ගියාම මොකද වෙන්නේ?
රුධිර වාහිනිවල මේ ප්ලාස්ටික් අංශු තැන්පත් වෙලා හෘද රෝග සහ හාට් ඇටෑක් ඇතිවීමේ දැඩි අවදානමක්.
හෝමෝන ආශ්‍රිත රෝග සහ මදසරුභාවය (වඳභාවය) වැනි විකෘතිතා.
වකුගඩු හා අක්මාව අකර්මණ්‍ය වීම.
දීර්ඝකාලීන භාවිතය නිසා අවසානයේ දරුණු ඝනයේ පිළිකා ඇතිවීම.
මේවා එක දවසින් හැදෙන ලෙඩ නෙවෙයි! කාලයක් තිස්සේ මේ ප්ලාස්ටික් භාවිත කරනකොට ටිකෙන් ටික තමයි මාරයා ළඟට එන්නේ කියලා වෛද්‍යවරිය අනතුරු අඟවනවා.
එහෙනම් ප්ලාස්ටික් වෙනුවට අපි මොනවද පාවිච්චි කරන්න ඕනේ?වෛද්‍යවරිය පැහැදිලි කරන විදිහට හොඳම සහ සෞඛ්‍යාරක්ෂිතම විකල්ප තමයි,
මැටි බඳුන්
මල නොබැඳෙන වානේ භාජන
සෙරමික් හෝ වීදුරු උපකරණ
දරුවන්ව ඉස්කෝලේ යවනකොට වීදුරු භාජන දෙන්න අමාරුයි නම්, ලෝහ භාජනයක් හරි එහෙමත් නැත්නම් ගෑරුප්පුවයි කෝප්පයයි ලකුණ තියෙන සෞඛ්‍යාරක්ෂිත ප්ලාස්ටික් කෑම පෙට්ටියක් විතරක් පාවිච්චි කරන්න කියලා ඇය විශේෂයෙන් මතක් කරනවා. කොහොම වුණත් කෑමට ගන්න ප්ලාස්ටික් වුණත් පාවිච්චි කරන්න ඕනේ රස්නයක් නැති, තෙල් රහිත කෑමවලට විතරයි.
ඔබේ ගෙදර තියෙන ප්ලාස්ටික් භාජනවල අඩියේ ත්‍රිකෝණයක හැඩයට ගහලා තියෙන අංකය (1 ඉඳන් 7 වෙනකන්) අනුව මේවායේ ප්‍රමිතිය තීරණය වෙනවා. මේ ගැන අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න.
අංක 1 (PET / PETE)- සාමාන්‍ය වතුර බෝතල් සහ බීම බෝතල්. මතක තියාගන්න, මේවා පාවිච්චි කරන්න පුළුවන් එක් වරක් පමණයි!
අංක 2 (HDPE)- වඩාත් ආරක්‍ෂිත ප්ලාස්ටික් වර්ගයක්.
අංක 3 (PVC)- ජලනල, කම්බි ආවරණ සහ වැහි කබා වලට ගන්න වර්ගයක්. කිසිවිටෙක කෑමට ගන්න එපා!
අංක 4 (LDPE)- ප්ලාස්ටික් බෑග් සහ කෑම ඔතන දවටන (Food wrappers).
අංක 5 (PP)- කෑම බහාලුම් (Food containers) සඳහා වඩාත්ම සුදුසුයි. ඉහළ උෂ්ණත්වයකට ඔරොත්තු දෙන ආරක්‍ෂිත ප්ලාස්ටික් වර්ගයක්.
අංක 6 (PS)- ක්ෂණික ආහාර දෙන පෙට්ටි, ඉවත දාන කෝප්ප වගේ දේවල්. රත් වුණාම සෞඛ්‍යයට අහිතකර විෂ රසායනික පිටවෙනවා.
අංක 7 මේවායේ BPA (Bisphenol A) අඩංගු වෙන්න පුළුවන් නිසා කෑම බීම දානකොට දෙපාරක් හිතන්න!
ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් අදම කුස්සියෙන් අයින් කරලා, ඔබේත් ඔබේ ආදරණීයයන්ගේත් ජීවිත මේ මාරාන්තික ලෙඩ රෝගවලින් බේරගන්න!