මුහුණට මුහුණ මුණ නොගැසුණත් මුහුණු පොතෙන් මිතුරු වූ විදෙස් ජාතික මිතුරා පැවසූ බොරුවලට හසුවූ මෙරට මිතුරියක ගැන අසන්නට ලැබෙන්නේ ලංකාවේ තවත් එක් ගම්මානයකින්. ඇය ඇත්තටම ඔහුගේ ඒ බස්වලට රැවටුණේ, එය ඉතාම සැලසුම් සහගතව මේ තරුණයා සිදුකළ නිසයි.
මුහුණු පොත ඇයට හරිම හුරු තැනක්. එහි ඇය සැරිසරන්නේ කාලයකම සිටමයි. ඉඩක් ලද සැණින් ඇය යන්නේ මුහුණු පොතටයි. මුහුණු පොතට ගිය සැණින් ඇයගේ මුහුණට සිනහව එන්නේ ඔහු නිසාද..? මීළඟ ප්‍රශ්නාර්ථය වන්නේ එයයි.
මුහුණු පොත අතපත ගාමින් සිටින ඇයට විදෙස් රටක තරුණයෙක් මාට්ටු වුණා. මේ පුද්ගලයා සිටියේ චීනයෙයි. දෙරටේ සිටියත් දෙන්නට දෙන්නා කතා බස් කර ගත්තේ මුහුණු පොත හරහායි. ඒ හරහා කෙටි පණිවිඩයන් ද හුවමාරු වූ අවස්ථා නැත්තේ ද නොවේ.
පොඩි පොඩියට ආරම්භ වූ මේ ඇයි හොඳැයිය ලොකුවීමට ලොකු කාලයක් ගත වුණේ නැහැ. චීනා ඇය බැලීමට සිරි ලංකාවට එන බව කීවේද මේ අතරයි. ඔහු ඇය බැලීමට දෙඅත වන වනා ඒමට කැමති වූවේ නම් නැහැ. ඒ නිසාම ඇය බැලීමට එන ගමනේ දී ඇයට අවශ්‍යයි කියූ සබ්බ සකල මනාවම චීනා මිලදී ගත්තා.
එය මුසාවක් නොවූවේ ඒ ගත්තු සෑම ද්‍රව්‍යයක්ම ඇයට චීනා මුහුණු පොත හරහා පෙන්නුවා. එතන ලක්ෂ විසිපහක බඩු ආදිය වුණා. ඇයට සතුටුයි. චීනා සිපවැළඳගන්නට තරම් පිනා ගිය සතුටක් ඇය තුළ වුණා.
චීනා ඇයට ගත්තු බඩු භාණ්ඩ පෙට්ටියක ඇසුරුවා.
එහි ඔහුගේ නම ගසා ඇයගේ නිවසේ ලිපිනය ලිව්වා. මේ ලිපිනය ලියූ බඩු පෙට්ටියේ ද ඡායාරූප සහ වීඩියෝ චීනා අපේ කෙල්ලට පෙන්නුවා. කෙල්ලට යළිත් සතුටුයි. ඇත්තටම චීනා ලංකාවට ආපු සැණින් ඔහුව හාදු වැස්සකින් තෙමන බවට සිතා ගත්තා.
ඒ විතරක්ම නොව චීනා තමන්ට සිරි ලංකාවට ඒමට ගැසූ වීසා සහිත ගුවන් ගමන් බලපත්‍රයේ ඡායාරූප ද ඇයට දැක ගන්නට සැලැස්සුවා. එය දුටු ඇයට ලංකාවට පැමිණෙන චීනාට ඔහු ඇගෙන් ඉල්ලන ඕනෑම දෙයක් දීමට තරම් ආදරයක් උපන්නා.
මෙය මෙසේ සිදුවෙද්දී චීනා ඇයට කීවේ තමා රැගෙන එන බඩු පාර්සලයට ගුවන් තොටුපොළට ලංකා මුදලින් රුපියල් ලක්ෂ පහක් පමණ බැඳීමට සිදුවෙන බවයි. තමාට චීනයේ සිට එය කළ නොහැකි හෙයින් මේ මුදල තමා එවන ගිණුම් අංකයට බැර කරන ලෙස චිනා ඇයගෙන් ඉල්ලා සිටියා.
ඇය එයට එක පයින්ම එය අනුමත කළා. එයට හේතුභූත වූ කාරණා දෙකකි. ඉන් පළමු වැන්න චීනා හැර ඇයට දැන් කෙනකු නැති විශ්වස නැති තරමටම ඇය ඔහුට ආදරය කිරීමයි.
අනෙක ඒ ගිණුම් ගත කරන මුදල චීනා ලංකාවට පය ගැසූ සැණින් දෙනුයේ ඇමරිකානු ඩොලර්වලින් වීමයි. එකට එකක් එක්කය. කතා දෙකක් නැත ඇය ලක්ෂ විසිපහක තිහක බඩු පාර්සලය ගන්න රුපියල් ලක්ෂ පහක් වියදම් කළත් මොක ද ඇය විතරක්ම නොව ඇයගේ මවුපියෝ ද එලෙස කල්පනා කළා. චීනා හපනා බව ඔවුහු දත්තෝය.
අතේ තිබූ මුදලත් මදිපාඩුවට කණකර ආභරණත් ඔවුහු උකසට තබා චීනා මුහුණු පොතට එවූ ගිණුම් අංකයට දැමුවේ අන්න ඒ නිසයි.
දැන් ඔවුන් බල බලා සිටියේ චීනා ලංකාවට එන දවසයි. ඔහු රැගෙන එන බඩු පාර්සල දිහායි. චීනා එන පාටක් නැහැ. අඩු තරමින් ඔහු මුහුණු පොතෙන්ද ඇය සමග මුහුණට මුහුණ බලා කතාවක් ද නැහැ.
ඔහු කළේ මුලාවක් බව මේ සල්ලි වැටුණු සැනින් ඔවුන්ට දැනුනත් දැන් ඔවුන්ට ඒ වෙනුවෙන් කර කියාගන්න කිසිවක් නැති. උකස් කළ කන ,කර කෙසේ හෝ බේරා ගැනීමට ඔවුන් දැන් හිතන්නට වෙනවා.