2026 ජුනි මසය ආරම්භ වෙනකොට සිදුවුණු මේ ග්‍රහ මාරුව ගැන ඔබත් දන්නවාද..? ගුරු මිථුන රාශියෙන් කටක රාශියට ගමන් කරනවා. කටක රාශියට ගුරු උච්චයි. මෙම ගුරු නැවත ඔක්තෝබර් මස 3 වන දින දවල් 12.50ට සිංහ රාශි ගත වෙනවා.
මෙම ගුරුගේ ගෝචරය වසර 12කට වරක් සිදුවන්නක්.
ලංකා කේන්දරයේ 6 වැන්න වූ කටක රාශියට ධන කාරක, පුත්‍රකාරක ගුරු පැමිණීම සිදු වෙනවා. ජනරජ කේන්දරයේ 5 වැන්න අධිපතියා උච්ච වීම ජනරජ කේන්දරයට එතරම් ශුභදායක නැති බවක් පෙනේ. එනම් ජනරජය නියෝජනය කරන්නේ කවුද යන වගක් පෙනේ. එසේ නම් රටේ නායකයා ප්‍රධාන පුරවැසියා වෙනවා. එතුමාට මෙම ගුරු මාරුව විශාල වෙනස්කම් කීපයක් කරමින්, රටේ යම් යම් දේශගුණික වෙනස්වීම් මෙන්ම මහජන විරෝධතාවයන් ද මෙල්ල කරමින් රටේ නායකත්වය ගෙනියන්නට සිදු වෙනවා. රටේ නායකයාගේ ප්‍රඥාව සහ ඥානය ප්‍රගුණ කරමින් රට ගෙනියන්නට කූට උපක්‍රම යෙදීමට සිදුවෙනවා.
මෙතනදී තවත් දෙයක් පැහැදිලි කළ යුතුයි. එනම් ගුරු උච්ච වීම ශුභයි. එනම් ශුභ ග්‍රහයන් උච්ච වීම ශුභයි. අශුභ ග්‍රහයන් උච්ච වීම අශුභයි. ශුභ ග්‍රහයන් නිචවීම අශුභයි. අශුභ ග්‍රහයන් නිච වීම ශුභයි. මෙය නියමයක්.
තව ද මෙම ගුරු ලග්න 12ටම ජය සිදු යෝගය ගෙන දෙන අතර එම ලග්න 12න් ලග්න 6කට ගුරු හංස යෝගය ගෙන දෙයි. තවත් ලග්න 3 කට විපරිත රාජ යෝගය ගෙන දෙමින්, ඔබේ කේන්දරයේ ගුරු ඉන්න තැන අනුව ගුරු උපතේ ස්වක්‍ෂේත්‍ර ද, උච්චව ද, නිචව ද, සම, මිත්‍ර ද සතුරු ද, මුළු ද ආදිය වශයෙන් දැන ගෙන ඔබේ කේන්දරයට ගුරු කෙසේදැයි බලමු.
මේෂ ලග්නයට
මේෂ ලග්න හිමියන්ගේ 4 වැන්න වූ කටකයේ ගුරු ග්‍රහයා උච්ච වෙයි. මෙම උච්ච වීම ඔබට කෙසේ දැයි බලමු. ඇත්තෙන්ම ඔබේ උපන් කේන්දරයේ ගුරු උච්ච වී සිටියි නම් ඔබට මේ කාලයේ ඉතාම ශුභදායකයි. තම ආදායම් මාර්ග වල දියුණුවක් පෙන්වනවා. අනික් සියලුම මේෂ ලග්න හිමියන්ට මුදල් නොලැබෙනවා නෙවේ. නමුත් ටිකක් මහන්සි වෙන්න සිදු වෙනවා මුදල් සොයන්නට. මේ කාලයේ සිතේ තින්දුවකට ඒමට නොහැකි කරුණු කාරණා යෙදේ. සමහර විට ඒවා නිසා මුදල් වියදම් කිරීමට සිදු වේ. ස්ථාන වෙනස් වීමක් මෙන්ම, අලුත් යාන වාහන නිවාස ඉඩ කඩම් මිලදී ගැනීමටත් අවස්ථාව උදා වෙයි. බාධාවීම් මගින් සාර්ථක ගමනකට හොඳ අඩිතාලමක් දමන කාලයක්.
නරක දේ අතහැරීමට තරුණ අයට හොඳම අවස්ථාවකි. කල්‍යාණ මිත්‍රයන් ඇසුරට ලැබෙන කාලයකි. මව් පාර්ශ්වයට හෝ මව්ගේ පාර්ශ්වයේ අයට තරමක අපලදායක කාලයකි. ඒ වගේම මේ කාලයේ පැටලිලි ඇති වේ. සමහර විට දේපළ පිළිබඳව විය හැක. මේ කාලයේ විදේශ ගමන් සඳහා පිටත්වීමට සිටින අයට ශුභ දායක කාලයකි. අධ්‍යාපනය වෙනුවෙන් ද එය එසේමයි. විවාහ වීමට සිටින අයට විශේෂයෙන් කිව යුත්තේ ආදර සම්බන්ධතාවලදී ටිකක් පරිස්සම් වෙන්න. එමෙන්ම යෝජනාවක් මත විවාහ වෙන්න ඉන්න කෙනෙක් නම් ඔබ රැවිටිලි වලට හසුවීමට ඉඩ ඇති බැවින් ප්‍රවේශම් වන්න. විවාහය අද හෙට සිදුවීමට සිටින කෙනෙක් නම් හැමවිටම එකිනෙකාට ගෞරව කරන්න. එවිට ප්‍රශ්න අඩු වී යයි.
ලේ සම්බන්ධ රෝග වලින් හා පපුව සම්බන්ධ රෝග වලින් පෙළෙන අයට මේ කාලයේ යම් යම් රෝග ලක්‍ෂණ මතුවිය හැක. විශේෂයෙන් රත්පිත් ගති මතුවිය හැක.
පොදුවේ ගත් කළ ගුරු මාරුව ඔබට ශුභයි. මතක තබා ගන්න, ඔබට මේ කාලයේ ලග්න ඒරාෂ්ඨිකයක් පවතිනවා. එසේ තිබුණත් ගුරු ඔබට ශුභ දෙයක් දෙනවාමයි. අධිෂ්ඨාන ශක්තියෙන් යුතුව ජීවිතයට මුහුණ දෙන්න.
වෘෂභ ලග්නයට
තරමක් අශුභදායකයි. නමුත් පෙරළිකාරි වසරක්. වෘෂභ ලග්න හිමියන්ගේ 3වැන්න වූ කටකයට ගුරුගේ පැමිණීම සිදුවෙයි. 3 වැන්න කියන්නෙ ඔබේ කේන්දරයේ සහෝදරත්වය පෙන්වයි. එමෙන්ම දියුණුවට බාධා ගෙන දෙන කාලයකි. මෙය ඔබේ රැකියා කටයුතු වලට ද අධ්‍යාපන කටයුතු වලට ද, ඉදිරි අනාගත සැලසුම් වලට ද බලපාන පොදු කරුණක් බවට පත්වෙයි. මේ කාලයේ කිසිවක් අනුමානයට නොකරන්න. එහි අයහපතක් මිස ලාභයක් නොලැබේ. මේ වර්ෂය වෘෂභ ලග්න ඔබට පෙරළිකාරි වර්ෂයකි. මේ කාලයේ ඔබේ බලාපොරොත්තු එකින් එක බිඳ වැටෙන්නට පුළුවනි. නමුත් නැගිටීම වේගවත් විය යුතුයි. ප්‍රයෝජනයක් නැති කිසිම දෙයකට අත නොගසන්න. සමාජය සමග ගැටෙන සෑම අවස්ථාවකම තමන් ගැන සිතා අඩුවෙන් සමාජ ගත වන්න. පාසල් යන දූ දරුවන්ට උත්සාහය ඉතා වැදගත් වර්ෂයක් වෙයි. එම නිසා උත්සාහයෙන් ජීවිතය ජය ගන්න.
ඔබේ කේන්දරයේ 5 වැන්නෙ ගුරු සිටින බැවින් අධ්‍යාපනය ලබන දරුවන්ට ඉතාම ශුභයි. ඒ වගේම දරුවන් ලැබෙන්නට සිටින අයටත් ශුභ පිහිටීමක්. ඒ වගේම 7 වැන්නෙ ගුරු ඉන්න අයටත් ශුභ දායකයි. 9 වැන්නෙත් ගුරු ඉන්න අයට ශුභයි. 10යෙත් 11 වැන්නෙත් උපතේදී ගුරු ඉන්න අයට ශුභදායකයි.
ගුරු 12 ඉන්න අයට විශේෂයෙන් දුක් ගෙන දෙන බවක් පෙන්වයි. විශේෂයෙන් රැකියාවේ, ලෙඩ රෝග වලින් නීතිමය ගැටලුද ඇතිවිය හැක. ගුරු ග්‍රහයාට 3,6,8,12 අශුභ ස්ථාන ලෙස සැලකේ.
සිත් රිඳවීම් මැද හොඳ පන්නරයක් සිතට ගෙන නොබියව ඉදිරියට යන්න.
මිථුන ලග්නයට
සමාජ සේවයට ශුභයි.
පොදු වැඩේදී පරිස්සම් වෙන්න. මිථුන ලග්න ඔබගේ ගුරු ධනස්ථානයවූ 2 වැන්නට උච්ච බලයෙන් පැමිණේ. මේ කාලයේ ගරු නම්බුනාම, සමාජයේ උසස් තැනකට යාමට අවස්ථාව, සමාජයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්වෙයි. සැපවත් කාලයකි. ඔබ කරන කියන කටයුතු වලින් අවාසියක් නොව වාසියක් ගෙන දෙන කාලයකි. මිල මුදල් ලාභ ලැබෙන කාලයකි.මේ කාලයේ අලුත් වැඩට අත ගසන්නටත් අලුත් අලුත් දේ ඉගෙන ගෙන ඒ තුළින් ඉදිරියට යාමටත් අවස්ථාව උදාවෙයි. මේ කාලයේ මොනම හේතුවකටවත් අසනීපයක් නැත්නම් ඔබ බඩගින්නෙ සිටින්නෙ නැත. මේ කාලයේ විශේෂයෙන්ම ඔබේ කට පරිස්සම් කර ගන්නට උත්සාහ ගන්න. හැබැයි කට නිසා රැකියා කරන අයට මේ කාලය ඉතාම ශුභ දායකයි. එනම් නිවේදක, නිවේදිකාවන්ට නීති වෘත්තියේ සිටින අයට, ගුරුවරුන්ට, කේන්දර බලන අයට යනාදි අයට ශුභයි. විවාහ වෙන්න අවස්ථාව උදාවෙයි. එකිනෙකාගේ බැඳීම් ශක්තිමත් කරගෙන ඉදිරියට යා හැකි වර්ෂයකි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට, දරුවන්ගේ විවාහය, දරුවන් ලැබීම් හා දරුවන් බලපොරොත්තුවෙන් සිටින අයට ඉතාම ශුභ කාලයකි. අලුතින් ඉඩම් මිලදී ගැනීමටත් ගෙවීමේ ක්‍රමයට හෝ වේවා ඉඩමක් මිලදී ගෙන නව නිවසක් ගොඩනැගීමටත්, යාන වාහන ගැනීමටත් ශුභ කාලයකි. ඉතාම හොඳ කාලයක් වුවත් මා මේ කී දේ අඩු වැඩි වීම් සිදු වන්නෙ උපතේ ගුරු ඉන්න තැන අනුවයි. එහෙත් මොන දේ වුණත් උත්සාහයෙන් ප්‍රතිඵල ලබා ගත හැක. අනිවාර්්‍යයෙන් ඉන්න තැනින් ඔබ යම් ප්‍රමාණයකටවත් ඉහළට යනවාමයි.
කටක ලග්නය
ඉතාම ශුභ ඵල ගෙන දෙන කාලයකි.
කටක ලග්න හිමියනි, ගුරු ග්‍රහයා ලග්න ගත වෙයි. එපමණක් නොවේ, එම රාශියේ උච්ච වෙයි. මෙය ඉතා බලවත්ය. ඔබ ගත කරන නරක කාලය අහෝසි වෙයි. මේ කාලයේ දුර බැහැර ගමන් බිමන් ඇති වේ. ඔබ යම් යම් කැප කිරීම් කර මෙතෙක් බලාපොරොත්තුවෙන් සිටි කරුණු කාරනා ඉෂ්ට වන කාලයකි. ස්ථාන වෙනස් වීමක් සිදුවෙයි. මෙය ඇත්තටම හොඳට සිද්ධ වෙන කාරණාවක් බවට පත්කර ගැනීමේ හැකියාව පවතින්නේ ඔබටයි. වැඩිපුර මුදලක් වියදම් වෙයි. එහෙත් එම මුදල් නැවත සොයා ගැනීමේ ක්‍රම ද ඇති වේ.
මේ කාලයේ රැකියාවල නිරත වී සිටින අයට උසස් වීම් ඇති නොවේ. නමුත් නාඩි සිද්ධාන්ත වලදී උපන් කේන්දරයේ එනම් ලග්නයේ ශනි ඇත්නම් අනිවාර්යයෙන්ම රැකියාවේ වෙනසක්, උසස් වීමක්, නැතිනම් පඩි වැඩි වීමක් වත් සිදුවෙයි. ස්ථාන මාරු වීමකට ද ඉඩකඩ පවතියි.
ප්‍රධානීන් සමග තර්ක විතර්ක වලට නොයන්නට වගබලා ගත යුතු කාලයකි. තමන්ට අදාළ දේ පමණක් කර ගන්න. වයසින් වැඩි අයට අශූභ කාලයකි. ඒ වුණත් සසුන්ගත වීමට මේ කාලය ශුභ නැත.
හැබැයි මේ ගුරුගේ මාරුව ඔබට අරිටු බලපෑම් භංග කරන බවක් ද තිබේ. විශේෂයෙන්ම ඔබ අතහැර දමා තිබූ අධ්‍යාපන හෝ ව්‍යාපාර හෝ නැවත ගොඩනැඟීමට ඉතාම ශුභදායකයි. විශේෂයෙන්ම අනාගතය ගැන දකින සිහින සැබෑ කර ගැනීමට අවස්ථාව බාධක බාධක මැද හෝ ඉටුවන බවක් පෙනේ. හැබැයි මේ සියලුම දේ කිරීමට ඇත්තේ දින 151කි. මෙම දින ගණන ඔබට ඔබව ඔසවා තබන්නට හොඳම කාලයයි.
සිංහ ලග්නයට
අනතුරු වලින් පරිස්සම් වෙන්න
සිංහ ලග්න ඔබට ගුරු 5 අධිපති වීම නිසා අමතර වාසි ලැබේ. නමුත් 8 අධිපති වීම නිසා අනතුරු නින්දා අපහාස ආදියෙන් පරිස්සම් වෙන්න. සිංහ ලග්න කේන්දර හිමි ඔබට ගුරු මාරුව සිදුවන්නෙ 12 වැන්න වූ කටකයටයි. ඒ වගේම ඔබ මේ අෂ්ටම ඒරාෂ්ටකය ගත කරමින් තමයි ඉන්නෙ. කේන්දරයේ ත්‍රික සහ වැය ස්ථානයේ ගුරු යන නිසා වියදම් පක්‍ෂය වැඩියි. අනාගතය ගැන සිතා බලාපොරොත්තු ඇති කරගෙන යන මේ ගමනේදී සමහර දේවල් ඉටුවෙන්නෙ ප්‍රමාද වීමකුත් සමගයි. මේ කාලයේ ආගමික කටයුතු වලට මෙන්ම රහසිගතව ද යම් යම් දේට මුදල් වියදම් කරන්නට සිදුවෙයි. රහස් ගමන් බිමන් කීපයක් ද යෙදේ. ඔබ මොන පිං දහම් කළත් ඔබ සිතින් විඳවන ගතියක් පෙනේ. සමහර විට ආදරය හමුවේ පරාජිත වූවෙක් විය හැක. ආදර බන්ධන කැඩී බිඳී යයි. විවාහය යම් කිසි දුරකට ප්‍රමාදයක් කල්යෑමක් පෙන්වයි.
අධ්‍යාපන කටයුතු වල යෙදී සිටින සිංහ ලග්න හිමියනි, ඔබ පරාජ වී නැත. නමුත් වරින් වර බාධා ගෙන දෙයි. දෙමාපියන්ට දරුවන් වෙනුවෙන් මුදල් වියදම් කරන්නට සිදු වේ. මෙය දරුවන් විදේශ ගත කරන්න, නැතිනම් අධ්‍යාපන කටයුතු වලට හෝ දරුවන්ගේ විවාහ කටයුතු වැනි දෙට වැඩිපුර මුදල් වියදම් වෙන කාලයකි. ඉඩ කඩම් මිලදී ගැනීමට, වාහන මිලදී ගැනීමට පොරොන්දු ගිවිසුම් මත කරන්න අවස්ථාව උදාවෙයි. (ගෙවීමේ ක්‍රමයට) වැඩි පුර කාලය ඇවදීමට යොදවයි. මිත්‍ර සමාගම් වලදී මේ කාලයේ පරිස්සම් විය යුතුයි. ශරීර සනීපය ගැන ද අනතුරු වලින් ද ප්‍රවේශම් වන්න. පොදුවේ ගතහොත් කලින්ට වඩා ඔබ ශක්තිමත් වෙන්න සිතට ශක්තිය ගන්න. ඔබ විසින්ම ඔබේ ඔරුව දියත් කරන්න. එන සියලුම බාධකයන්ට නොබියව මුහුණ දෙන්න.
කන්‍යා ලග්නයට
ජයග්‍රාහී වසරක්. විශේෂයෙන් දිනන, දිනවන දින 151ක්.
කන්‍යා ලග්න ඔබට ගුරුගේ පැමිණීම 11 වැන්න වූ කටකයටයි. ඔබට වාසනාවන්ත කාලයක් කියලා මම කිව්වොත් ඉතාම නිවැරදියි. ඔබට මේ කාලයේ අලුත් අලුත් සමාගම් හිත මිතුරු මිතුරියන් හමුවන කාලයක්, බොහෝ කාලයක් යනතුරු ඔබට ඉහළට යාමට අවස්ථාව උදා වෙනවා.
පසුගිය කාලයේ ඔබට තළා පෙළා දැමූ අයටත්, ඔබට නැතිවි ගිය ගෞරවයක් නැවත ළඟා කර ගත හැකි කාලයකි. ඔබව මේ දවස් 151 කාලය තුළදී ඉහළට ඔසවා තබනවාමයි. අලුත් තැනකට හෝ අලුත් තත්ත්වයකට යාමය අවස්ථාව උදා වෙයි. තම බලය වැඩිවන කාලයකි. ඔබේ නම නිතර නිතර කියවෙන තැනකට යාමට අවස්ථාව උදා වෙයි. කෙසේ හෝ කන්‍යා ලග්න හිමියනි, ඔබට මෙම ගුරු මාරුව ඉතාම ශුභ දායකයි. ආදායම් මාර්ග ක්‍රමයෙන් වැඩිවෙයි. ඔබේ දරුවන්ගේ උසස් වීම් බලා සතුටු වෙන්නට අවස්ථාව උදාවෙයි. පවුලට පිරිස වැඩිවෙයි. දරුවන් බලාපොරොත්තුවෙන් සිටින මව් වරුන්ට දරුවන් ලැබේ. දරුවන්ගේ දියුණුවක් දෙමාපියන්ගේ දියුණුවක් ඇතිවෙන කාලයකි. නිවාස අලංකාරවත් කරන්නටත්, අලුත්වැඩියා කරන්නටත් හොඳම අවස්ථාවයි. සුළු සුළු බාධා වීම් ගෙන දුන්නත් සාර්ථක ගමනකට හොඳ අඩිතාලමක් නම් වැටෙනවාමයි. මේ කාලයේ ජන්ම ඒරාෂ්ට හෝ චන්ද්‍ර අෂ්ටම අපල නැත්නම් සාර්ථකයි. එසේ ඇති අයටත් හිත දුර්වල කර ගැනීමට අවශ්‍ය නැත. හිමින් හිමින් සියල්ලම විසඳේවි.
විශේෂයෙන් අපේ ගොවි මහතුන්ටත් ශුභ කාලයකි. මුල් කාලයේ නොවුනත් ඔබටත් සැලකිය යුතු ආදායම් මාර්ග සැලසේවි. දුර්වල ගතියකට ඇත්තේ හදිසි ජල ගැලීම් වලට ලක් වීමට සිදුවීමයි. එහෙත් ඔබේ බලාපොරොත්තු ඉෂ්ට වේවි.
තුලා ලග්නයට
තුලා ලග්න හිමියන්ගේ 10 වැන්න වූ කටකයේ ගුරු උච්ච වෙයි. 10 වැන්න කර්මස්ථානයයි. ඔබේ වෘත්තිය ජීවිත ගැනයි කියන්නෙ. ඔබට කරදර වැඩි කාලයකි. වැඩ අධික කාලයකි. හැබැයි කැප කිරීම් තුළින් ඉදිරියට යාමට හැකි අයට කීර්තිය බලය ධනය ලබාගත හැකි ක්‍රම ගොඩනැඟේ. නමුත් සිත මේ කාලයේ දුවන්නෙ වැරදි මාර්ග වල නම්, ඔබට මොනම ආකාරයෙන්වත් පිහිටක් ගුරුගෙන් නොලැබේ. මිල මුදල් අතින් පාඩු මෙන්ම, අඩු ලාභ ලැබෙන නිසා ණය වීමට පවා කරුණු යෙදිය හැක. දියුණුවට ලොකු උත්සාහයක් ගත යුතු කාලයකි. දේපළ පිළිබඳව ද යම් යම් කරුණු කාරණා වලට මුහුණ දෙන්නට සිදුවෙයි. දේපළ විනාශ වී යාමටත් නායයාම් වලට ලක්වීමටත් පුළුවනි.
මේ කාලයේ දරුවන් ගැන ද කල්පනාකාරි වන්න. මේ කාලයේ දරුවන්ට වැඩිපුර පිං කරන්නට හුරු කරන්න. ඔබේ පෙර පින හීන වී යන කාලයක් නිසා ගුරුට නම් පිං දහම් කරන්න. මං මෙහෙම කියන්නෙ ඔබේ දරුවන්ට වැඩි හිටියන්ට තරමක අසනිපාදි කරදර වලට මුහුණ දීමටත් ඔබේ මුදල් වියදම් වීමටත් කරුණු යෙදෙන බැවිණි..
ගොවිතැන් වැඩ කරන ඔබට මේ කාලය එතරම් ශුභ දායක නොවන අතර අතරමැදියන්ට හසුවී මුලාවන කාලයකි. දියුණුවට වෙහෙස මහන්සි වන තරමට ප්‍රතිඵල අඩු වී යයි. ණය වීමෙන් වළකින්න. ණයට දීමෙන් ද වළකින්න. පුළුවන් තරම් මේ දවස් 151 ප්‍රවේශමෙන් ගෙවන්න. තව ද මේ කාලයේ තත්වයට නොගැලපෙන අය ආශ්‍රය කරන්න ලැබේ. නින්දා අපහාස විඳින්නට පවා ඉඩ ඇති කාලයකි. වැඩිහිටි අයගෙන් ද නොයෙක් කථා අසන්නට සිදුවන කාලයකි. විශේෂයෙන් මෙය සිදුවන්නේ අවුරුදු 14 – 30 අතර කාලවල පසුවන්නටයි. කෙසේ හෝ තුලා ලග්න හිමියෝ ප්‍රවේශම් විය යුතුමයි.
වෘශ්චික ලග්නයට
වෘශ්චික ලග්න හිමියන්ගේ 9 වැන්න වූ කටකයට ගුරුගේ පැමිණීම සිදු වෙයි. 9 වැන්නට ගුරු ආ ඔබට පෙර පිං මතුවෙන කාලයකි. ඔබ මේ කාලයේ පුළුවන් තරම් පිං දහම් කරන්න. පෙර තිබූ කරදර බාධක දුරුවෙලා ඔබේ ශක්තියෙන් සහෝදරයන්ගේ ශක්තියෙන් ඔබේ බුද්ධිය පහදාගෙන ඉදිරියට යාමේ හැකියාව පෙන්වයි. වාසනාවන්ත දරුවන් ලැබෙන කාලයකි. විශේෂයෙන් පිරිමි දරුවන් ලැබෙන කාලයකි. අධ්‍යාපන ලබන වෘශ්චික ලග්න හිමි දරුවන්ට ඉගෙනීමට ඉතාම ශුභ දායකයි. හැබැයි සමහර අවස්ථාවලදී පොඩි පොඩි දුර්වලතා නිසා ප්‍රතිඵල අඩුවීමටත් පුළුවනි. හැබැයි දරුවනි, ඔබට විදේශ ගමන් බිමන් පෙන්වයි. වන්දනා මාන කරන්නට ද දෙවියන්ගේ පිහිට පතන්නට ද ඔබට සිදුවෙයි. හොඳම දේ වෙන්නෙ ඔබට පිටස්තර අයගෙන් උදව් උපකාර ලැබීමකට ඉඩ ඇත. එය ශුභදායකයි. ගෙදර දොර පිළිවෙළක් වෙයි. සතුරන්ගෙන් ජය ලැබේ. ආදර බන්ධනවලට හොඳයි. විවාහය බලාපොරොත්තුවෙන් සිටින අයටත් මංගල සීනු හැඬවෙන කාලයකි. අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමටත්, අලුත් අලුත් මාර්ග සොයා ගැනීමටත් අවස්ථාව උදාවෙයි. එම වැඩ පිළිවෙළවල් දිගින් දිගට කරගෙන ගියහොත් මේ දවස් 151 ඇති ඔබව ඉහළට ඔසවා තබන්නට. ඇත්තෙන්ම ඔබ වාසනාවන්තයි. උත්සාහයෙන් ඉඩම්, ගෙවල්, දොරවල් යාන වාහන මිලදී ගැනීමට අවස්ථාව උදා වෙනවා. ඒ වගේම ලස්සනට පිළිවෙළට ඉන්නත් ඔබට හැකි වෙනවා. යම් යම් අපලාදයක බවකින් යුත් අය ටිකක් කල්පනාකාරී වන්න. ඔබත් පරදින්නේ නැත. දියුණුව ඇත්තේ ඔබ අතේ, නැතිනම් යතුර ඇත්තේ ඔබ අතේ.
ධනු ලග්නයට
වාසනාවන්ත කාලයකි. සැපවත් ජීවිතයක් හිමියි
ධනු ලග්නයෙන් උපන් ඔබේ කේන්දරයේ ගුරු ග්‍රහයා 8 වැන්න වූ කටකයේ උච්ච වෙයි. 8 වැන්නෙ උච්ච වීම එක් පැත්තකින් පොඩි අශුභයකුත් තිබේ. නමුත් අශුභ ඵල අඩුවෙන්ම නොදෙන බවත් සිහි තබාගෙන ඉදිරියට යන්න. මේ කාලයේ ඔබේ පවුලේ අයට විශේෂයෙන් ඔබේ දරුවන්ට අපල සහගත බවක් පෙන්වයි. මෙතනදී ඔවුන්ගේ කේන්ද්‍ර බලවත් නම් එම අපලය අදාළ නොවේ. ඒ වගේම සිත් රිදවීම් වලට සහ නින්දා අපහාස වැනි දේ නිසා ඔබට දුක්විඳීමට හෝ සිත පාරා ගැනීමට සිදු වෙයි. අනුන්ට උදව් උපකාර කරන්නට ගොස් අමාරුවේ වැටෙන ප්‍රමාණය කිව නොහැකි තරම් නිසා මේ දින 151 කාලය තමන්ගේ පාඩුවේ ඉන්නට උත්සාහ ගන්න. සිතේ තිබුණු බලාපොරොත්තුවක් සුන් වී යයි. විශේෂයෙන් මේ කාලයේ ඔබේ රැකියාව පරිස්සම් කර ගැනීමට වෙහෙස මහන්සි ගන්න. හවුල් ව්‍යාපාරවලින් ඈත් වෙන්න. විශේෂයෙන් මුදල් වෙනුවෙන් කිසිම කෙනෙකුට ඇප නොයන්න. ගිවිසුම් අත්සන් නොකරන්න. ආශ්‍රය කරන්න සහ තමා වටේ සිටින අයගෙන් ප්‍රවේශම් වන්න. සියලුම දේ සිදුවන්නෙ තමාගේ හොඳටයි. එම නිසා ඇඟ බේරාගෙන පාඩුවේ ඉන්නට උත්සාහ ගන්න. මේ කාලයේ ඇති වන ප්‍රේම සබඳතාවලින් පරිස්සම් වන්න. එමෙන්ම විවාහ ජීවිතය ගැනත්, විවාහ සහකරුවෙක් සහකාරිය ගැනත් අනවශ්‍ය බියකින් පසුවීමට කරණු කාරණා යෙදෙන බැවින් කට කතා වලින් පරිස්සම් වන්න. මේ ප්‍රශ්න විවාහ ජීවිතය ඇතුළට ගෙනයෑමෙන් වළකින්න.
විශේෂයෙන් දරුවන් ගැන කල්පනාකාරී වන්න. විදේශ ගමන් බිමන් පෙන්නුවත් එය සාර්ථක වන්නෙ තව මාස 6කින් හෝ 7කින් පසුවයි. සියලුම දේ ශුභවාදී ලෙස ඉටු වෙනවා දිනෙක එතෙක් ඉවසීමෙන් ඉන්න.
මකර ලග්නයට
විවාහයට ශුභයි නීතියේ පිහිට පතන්නට ඉඩ ඇති කාලයකි
මකර ලග්න ඔබේ 7 වැන්න වූ කටක රාශියට ගුරු උච්ච වෙයි. මෙය මෙසේය. මකර ලග්න ඔබේ ගුරු උච්ච වී ඇත්නම් ඔබට එතරම් හානියක් ඇති නොවේ. නමුත් අන් අයට නිච නම් හෝ බලයෙන් අඩු නම් ඔබ තරමක් දුරට පරිස්සම් විය යුතුයි. ගෙදර දොර වාසනාවන්ත කාලයක් වෙයි. ගෙදර සිටින දරුවෙකුගේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙස වීමට සිදුවෙයි. විවාහ වීමට සිටින දරුවන්ට මංගල යෝජනා ස්ථීර වෙයි. නැතිනම් විවාහයක් සිදුවීමට නියමිතයි. අනියම් ඇසුර ශුභ දායක නොවේ. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙහෙස වනවාක් මෙන්ම ඔබටත් ඔබ ගැන සිතන්නට කාලය එළඹී ඇත. අනුමානයට කරන වැඩ වලින් දියුණුව ලැබේ. අලුත් දේ ඉගෙනීමට ලැබේ. ශරීර සනීපය ඇති වේ. නැති වී ගිය බොහෝ දේ ලබා ගැනීමට අවස්ථාව උදාවෙයි. විදේශ ගත වූවන් නැවත ලංකාවට පැමිණේ. ආදරය කරුණාව නිවසේ පවතියි. හැබැයි මුලින්ම කිව්වාක් මෙන් අනියම් ඇසුර ශුභදායක නොවේ. ජීවිතයෙන් පවා වන්දි ගෙවන්නට සිදුවන කාලයකි. ප්‍රීතිමත් සමාගම් පැවැත්වීමට අවස්ථාව උදාවෙයි. උසස් තැන්වලට යාමට අවස්ථා උදාවෙයි.
දේශපාලනයේ නිරත වූ අයට ද මේ කාලය ශුභ දායකයි. නඩු වලින් නිදහස් වෙයි. සතුරු උව දුරුවලින් ජය ලැබේ. වාසනාවන්ත කාලයකි.
කුම්භ ලග්නයට
ඉතාම ශුභ දායකයි, ආදායම අඩුවෙයි
කුම්භ ලග්න ඔබේ ගුරු ග්‍රහයා 6 වැන්න වූ කටක රාශියට පැමිණීමත් එහි උච්ච වීමත් ඔබට ඉතාම ශුභදායක බවක් ගෙන එයි. මේ කාලයේ අසරණ අයට උදව් උපකාර කිරීමට පටන් ගත්තොත් ඔබට සමාජයෙන් බොහෝ දේ ලබා ගත හැකි කාලයකි. හැබැයි උපන් කේන්දරයේ ගුරු දුර්වල නම් රැකියා කටයුතු වලදී බාධාවීම් ඇතිවෙයි. ඔබේ හිත පන්සලක් වගේ වෙයි නම් ඔබට වඩාත් ශුභ ප්‍රතිඵල ලබාගත හැක. විනෝදයට බර ගතියක් මෙන්ම තමාගේ වැඩ කටයුතු මඟ හැර ගෙන වෙනත් දේ කරන්නට යාමෙන් ඔබට ඔබේ දේ අහිමිවෙන බවක් පෙනේ. ගෙදර ඔබට අමුතු තැනක් වගේ පෙනෙන්නට පටන් ගනියි. බිරිඳව හෝ ස්වාමියාව නොරිස්සන ගතියක් ගෙන දෙයි. හේතුවක් නැතිව අමනාපකම් ඇති කර ගනියි. කේලම් ඕපාදූප අසන්නට ගනියි. අනියම් ඇසුරවල් ඇති කරගෙන සිටින අයට මේ කාලය ඉතාම අපල දායකයි. ප්‍රේම සම්බන්ධතාවයන් වේගයෙන් කැඩී බිඳී යයි. අධ්‍යාපනය ලබන දරුවන්ගේ මනස විකෘති වන තත්ත්වයක් උදාවෙයි. සිත එහේ මෙහේ දුවන ගතියක් පෙන්නුම් කරයි. එය එතරම් ශුභ දායක නොවේ. කරදර සහිත කාලයක් නිසා පිළිවෙළට එකින් එක ගලපාගෙන ජීවිතයට මුහුණ දෙන්න. අලුත් ව්‍යාපාර වලට අත නොගසන්න. අලුතින් ගෙවල් ඉදිකළත් ඉඩම් මිලදී ගැනීම හෝ වාහන මිලදී ගැනීම වලදී ප්‍රවේශම් වීමට වග බලා ගන්න. හේතුව ඔබට වාරික ගෙවා ගැනීමට නොහැකි වෙයි. වාහනය උස්සයි. ඔබ ඒ නිසා ප්‍රවේශම් වන්න. අනවශ්‍ය දේ ඔබේ ජීවිතයෙන් ඈත් කරන්න. එවිට ඔබට අවශ්‍ය දේ ලැබේවි.
ඒ වගේම අනවශ්‍ය මිනිසුන්ගෙන් ඈත් වෙන්න. එවිට ඔබට ඔබව ලැබේවී.
මීන ලග්නයට
ඉතාම ශුභ දායකයි. ඒරාෂ්ටක බලය අඩු වෙයි
මීන ලග්න හිමි ඔබට ගුරු ග්‍රහයා 5 වැන්න වූ කටක රාශියේ උච්ච වෙයි. නොයෙක් ක්‍රම වලින් ලාභ ලබන්නට හැකි කාලයකි. මේ කාලයේ මීන ලග්න හිමි ඔබට අලුත් ව්‍යාපාර වලට අතගසන්නට හොඳම අවස්ථාව වෙයි.
රැකියාවලින් සමාජයෙන් ඔබට ගෞරවය හිමි වෙයි. උසස් වීම් ලැබෙන කාලයකි. විදේශ ගමන් බිමන් රැකියා සඳහා යාමට අවස්ථාව උදා වෙයි. අධ්‍යාපනය ලබන දරුවන්ට ද මේ කාලය ඉතාම ශුභ දායකයි. එමෙන්ම උසස් අධ්‍යාපනයට ද, විදේශ ගතවීම් වලට ද ඉතාම ශුභයි. මේ කාලයේ විවාහයට ශුභ දායකයි. ලස්සන ස්ත්‍රීන්පු ,රුෂයන් ලැබෙන කාලයකි. විවාහ වී දරුවන් අපේක්ෂාවෙන් සිටින අයට ලස්සන පුතුන් ලැබීමේ වාසනාව පවතියි. මෙතෙක් දරුඵල අහිමි වූ අයටත් නැවත වතාවක් දරුවෙක් ලැබීමේ වාසනාව උදා වී ඇති නිසා උත්සාහයක් ගත හැකි කාලයකි. වාසනාවන්ත පවුල් ජීවිතයක් ගත කිරීමට වාසනාව උදාවෙයි.
නව මං සොයා යාමට අවස්ථාව නව ව්‍යාපාරිකයන්ට තිබේ. යන ගමන පැහැදිලියි. ජුනි 02 පසු හොඳම දවසක් බලා අලුත් වැඩක් ආරම්භ කරන්න.
ගුරුවරුන්ට ඉතාම ශුභයි.
ගොවිතැන් කරන අයටත් මේ කාලය ශුභ දායකයි. විනෝද වීමටත් අලුත් අලුත් තැන්වලට හා වන්දනා ගමන් බිමන් වලට ශුභ දායකයි. වැඩිහිටියන්ගෙන් සහ වයසින් වැඩි හිටියන්ගෙන් උදව් උපකාර මෙන්ම අනුශාසනා ලැබෙන කාලයකි. බොහෝ කල් එයින් ඵල ප්‍රයෝජන ගත හැකි කාලයකි. මීන ලග්න ඔබට ශුභ දායකයි