වසර සියයකට ආසන්න ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙක්සිකෝව, කැනඩාව සහ අමෙරිකා එක්සත් ජනපදය යන රටවල් තුනක ඒකාබද්ධ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය හැඳින්වෙන්නේ ඉතිහාසයේ දැවැන්තම පාපන්දු මංගල්‍යය විදිහටයි.
මෙවර තරගාවලිය සඳහා වෙනදා වගේ නෙවෙයි, රටවල් 48ක් තරග වදින අතර, ඔවුන් කාණ්ඩ 12කට බෙදා තිබෙනවා. ලබන ජූලි 19 වැනිදා අමෙරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේදී මෙහි අවසාන මහා තරගය පැවැත්වීමට නියමිත අතර, එතෙක් ඉදිරි මාසයකට අධික කාලය පුරා මුළු ලෝකයම පාපන්දු උණෙන් වෙලා ගනු නොඅනුමානයි.
පාපන්දු ක්‍රීඩාවට අලුතින්ම එකතු වුණු රසිකයෙක් නම් මෙවර තරගාවලියේ නීති රීති සහ උණුසුම් පුවත් කිහිපයක් දැන සිටීම තරග නැරඹීම වඩාත් රසවත් වීමට හේතු වෙනවා. මෙවර කාණ්ඩ වටයේදී තරගයක් ජයග්‍රහණය කරන කණ්ඩායමකට ප්‍රසාද ලකුණු 3ක් ද, සම වීමකදී කණ්ඩායම් දෙකටම 1 ලකුණ බැගින් ද හිමිවන අතර, පරාජය වන කණ්ඩායමට ලකුණු හිමි වන්නේ නැහැ.
එමෙන්ම කාණ්ඩ වටයේදී දඬුවම් පහර ක්‍රියාත්මක නොවන අතර, 32 වටයෙන් පසු තරගයක් සම වුවහොත් පමණක් අමතර විනාඩි 30ක් ලබා දී, එහිදීත් සම වුවහොත් පමණක් දඬුවම් පහර මඟින් ජයග්‍රාහකයා තීරණය කෙරෙනවා.
සාමාන්‍යයෙන් තරගයක් විනාඩි 45 බැගින් වූ අර්ධ දෙකකින් පැවැත්වෙන අතර, මෙවර පවතින දැඩි ගිම්හාන කාලගුණය සැලකිල්ලට ගනිමින් ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් අනිවාර්ය ජල විවේක කාලයන් ද හඳුන්වා දී තිබීම විශේෂත්වයක්.
ක්‍රීඩාවට අමතරව මෙවර තරගාවලිය වටා ගොඩනැඟී ඇති රසවත් ගොසිප් සහ දේශපාලන කරුණු කිහිපයක් ද සමාජ මාධ්‍ය පුරා දැඩි කතාබහට ලක්වෙමින් පවතිනවා. ඉන් ප්‍රධානම කරුණක් වන්නේ ලෝක පාපන්දු පිටියේ දශක දෙකක සලකුණ වූ ආර්ජන්ටිනාවේ ලියොනෙල් මෙසී සහ පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහභාගී වන අවසාන ලෝක කුසලාන තරගාවලිය මෙය වනු ඇති බවට පැවසීමයි.
එමෙන්ම, තරගාවලිය කණ්ඩායම් 48ක් දක්වා පුළුල් වීමත් සමඟ ජනගහනය 156,000ක් වන කියුරකාඕ දූපත් රාජ්‍යය ලෝක කුසලානයකට සුදුසුකම් ලැබූ කුඩාම රට ලෙස ඉතිහාසගත වෙද්දී, කේප් වර්ඩ්, ජෝර්දානය සහ ඉතාලි හිටපු නායක ෆැබියෝ කැන්නවාරෝගේ පුහුණුකාරීත්වයෙන් යුත් උස්බෙකිස්ථානය ද ප්‍රථම වතාවට ලෝක කුසලාන පිටියට අවතීර්ණ වෙනවා.
දේශපාලනමය වශයෙන් ගත් කල ද මෙවර තරගාවලිය සැබැවින්ම උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. පැරණි යටත්විජිත ඉතිහාසයේ සෙවනැලි මධ්‍යයේ පැවැත්වෙන ප්‍රංශය සහ සෙනගාලය (ජූනි 16) මෙන්ම ගානාව සහ එංගලන්තය (ජූනි 23) අතර තරග පිටිය තුළ දැඩි සටනක් වනු ඇති බවටයි වාර්තා වන්නේ.
මේ අතර, අමෙරිකාවේ සියැටල් නුවර පැවැත්වීමට නියමිත ඉරාන - ඊජිප්තු තරගය, එරට සමලිංගික ප්‍රජාව ඇගයීම වෙනුවෙන් Pride තරගයක් ලෙස නම් කිරීමට ප්‍රාදේශීය සංවිධායකයින් ගත් තීරණයට රටවල් දෙකෙහිම පාපන්දු සම්මේලන ෆීෆා ආයතනය වෙත සිය නිල විරෝධය පළ කර තිබෙනවා.
එපමණක් නොව, අමෙරිකාව සමඟ දේශපාලනමය වශයෙන් දැඩි මතභේදයක පසුවන ඉරාන කණ්ඩායම, සිය සියලුම තරග ඇමරිකාව තුළ ක්‍රීඩා කළ යුතු වුවද, තම පුහුණු කඳවුර මෙක්සිකෝව තුළ පිහිටුවීමට පියවර ගැනීම ද මෙවර පාපන්දු පිටියේ කරළියට ආ තවත් සුවිශේෂී පුවතක්.