තමන්ගේ දුවව පරිස්සමට බස් එකට ඇරලවන්න කියලා අද (10) පාන්දරම බස් නැවතුමට ආපු ඒ අහිංසක අම්මා, ආපහු හැරිලා එද්දී තමන්ගේ ජීවිතයෙන්ම වන්දි ගෙවන්න සිද්ධ වෙයි කියලා කවුරුන්නම් හිතන්න ඇත්ද?
මුළු මාවනැල්ල ප්‍රදේශයම කඳුළින් තෙත් කරපු, හදවත කීරිගැහෙන අතිශය සංවේදී පුවතක් අද උදෑසන කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයෙන් වාර්තා වෙනවා.
මාවනැල්ල පොලිසිය පවසන විදිහට මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් තියෙන්නේ 69 හැවිරිදි වියේ පසුවූ අබ්දුල් ලතීෆ් සිත්ති ෆලිලා නමැති තිදරු මවක්. ඇය මුලින් කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටියත්, දරුණු නායයෑමේ අවදානම නිසා තමන්ගේ නිවස අතහැරලා හිඟුල, ගනේතැන්න ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි වෙලා හිටපු කෙනෙක්. ජීවිත බේරගන්න ගමෙන් ආපු ඇයට අන්තිමේදී මහ පාරේදී මේ වගේ අකල් මරණයකට මුහුණ දෙන්න සිද්ධ වීම ඇත්තටම දෛවයේ සරදමක්.
පේරාදෙණිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි තමන්ගේ ඥාතියෙක්ව බලන්න යන්නයි මේ අම්මාගේ දියණිය සූදානම් වෙලා තියෙන්නේ. පාන්දරම තනියම යන දියණියගේ ආරක්ෂාව ගැන හිතපු මේ ආදරණීය අම්මා, ඇයවත් එක්කගෙන හිඟුල බස් නැවතුම වෙත පැමිණ තිබෙනවා.
දියණියව පරිස්සමට බස් රථයකට නංවාලූ අම්මා, නැවත තමන්ගේ නිවස බලා යන්නට හැරුණා.
ඇය පදික සීමාවෙන් පාර මාරු වෙමින් සිටියදී, කොළඹ බලා අධික වේගයෙන් ධාවනය වූ පේරාදෙණිය ළමා රෝහලට අයත් කැබ් රථයක ඇයව දරුණු ලෙස ගැටී තිබෙනවා. අනතුරේ බිහිසුණුකම කෙතරම්ද කියනවා නම්, ඒ අහිංසක අම්මා එම ස්ථානයේදීම අවසන් හුස්ම හෙළා ඇති බවයි පොලිසිය පවසන්නේ.
අනතුර සිදුකළ කැබ් රථය සහ එහි රියැදුරු මේ වන විට මාවනැල්ල පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකාර රියැදුරා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. කෑගල්ල කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරි වසන්ත අලහකෝන්ගේ නියෝග මත මාවනැල්ල රථවාහන ඒකකය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.