ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර කේන්ද්‍ර කරගත් ආර්ථික විද්‍යාව සහ සාමය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය (Institute for Economics & Peace - IEP) විසින් සකස් කරන ලද 20 වැනි ගෝලීය සාම දර්ශකය (Global Peace Index 2026) නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ලෝක ජනගහනයෙන් සියයට 99.7ක් ආවරණය වන පරිදි ස්වාධීන රාජ්‍යයන් සහ කලාප 163ක අභ්‍යන්තර හා බාහිර ගැටුම්, ආරක්ෂාව සහ හමුදාකරණය ඇතුළු නිර්ණායක 23ක් ඔස්සේ මෙම සමීක්ෂණය සිදුකර තිබෙනවා.
මෙවර වාර්තාවට අනුව සමස්ත ලෝක සාමකාමීත්වය පසුගිය වසරට සාපේක්ෂව සියයට 0.7කින් පහත වැටී ඇති අතර, ලෝක සාමය මෙලෙස අඛණ්ඩව දරුණු ලෙස පල්ලම් බැස ඇත්තේ පිට පිට 12 වැනි වසරටයි.
වත්මන් ලෝකයේ පවතින ගැටුම් දෙගුණයකින් ඉහළ ගොස් ඇති අතර, දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකය මුහුණ දෙන දරුණුතම අස්ථාවර වාතාවරණය මෙය බව ද දර්ශකය පෙන්වා දෙනවා.
විශේෂයෙන්ම යුක්‍රේන සහ ගාසා තීරයේ පවතින දරුණු යුධ වාතාවරණයන් මීට ප්‍රධානතම හේතුව වී තිබෙනවා.
මුළු ලෝකයේම සාමකාමීත්වය බිඳවැටෙමින් පවතින පසුබිමක, ශ්‍රී ලංකාව මෙවර ගෝලීය සාම දර්ශකය තුළ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත්ව තිබෙනවා.
ඒ අනුව, පසුගිය වසරට සාපේක්ෂව ගෝලීය ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන රැසක් ඉදිරියට පැමිණෙමින් ලොව රටවල් 163ක් අතුරින් 94 වැනි ස්ථානය දිනා ගැනීමටයි ශ්‍රී ලංකාව සමත්ව ඇත්තේ.
දේශපාලන ස්ථාවරත්වය වර්ධනය වීම, අභ්‍යන්තර ප්‍රචණ්ඩ ක්‍රියා සහ මහජන උද්ඝෝෂණ අවම වීම මෙන්ම ආරක්ෂක අංශ කෙරෙහි පවතින විශ්වාසය ඉහළ යාම ලංකාව මෙලෙස සාමකාමී රටවල් ලැයිස්තුවේ ඉදිරියට පැමිණීමට ප්‍රධානතම හේතු සාධක වී ඇති බව වාර්තාවේ සඳහන් වෙනවා.
මෙවර දර්ශකයට අනුව ද ලොව වඩාත්ම සාමකාමී රාජ්‍යය ලෙස සිය තත්ත්වය රැකගැනීමට 'අයිස්ලන්තය' සමත්ව ඇත්තේ අඛණ්ඩව 19 වැනි වසරටත් පෙරමුණ ගනිමින්.
1. අයිස්ලන්තය (Iceland)
2. අයර්ලන්තය (Ireland)
3. නවසීලන්තය (New Zealand)
4. ඔස්ට්‍රියාව (Austria)
5. ස්විට්සර්ලන්තය (Switzerland)
6. සිංගප්පූරුව (Singapore)
7. පෘතුගාලය (Portugal)
8. ඩෙන්මාර්කය (Denmark)
9. ස්ලෝවේනියාව (Slovenia)
10. ෆින්ලන්තය (Finland)
යුධමය සහ දේශපාලනික අස්ථාවරත්වය හේතුවෙන් මෙවර ගෝලීය සාම දර්ශකයේ පහළින්ම පසුවන, එනම් ලොව වඩාත්ම සාමකාමීත්වයෙන් අඩුම රාජ්‍යයන් බවට පත්ව ඇත්තේ පහත රටවල්ය:
රුසියාව (Russia) - ලොව සාමකාමීත්වයෙන් අඩුම රටවල් අතරින් මුල් තැනට (දර්ශකයේ අවසන් ස්ථානය) පත්ව තිබෙනවා.
සුඩානය (Sudan)
කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය (DR Congo)
යුක්‍රේනය (Ukraine)
ඊශ්‍රායලය (Israel)
ලෝකයේ සාමය බිඳවැටීමට බලපාන ප්‍රධානතම සාධකය ලෙස IEP ආයතනය හඳුන්වන්නේ සාම්ප්‍රදායික යුරෝපීය බලවතුන්ගේ බලය ගිලිහී යමින්, මධ්‍යම ප්‍රමාණයේ කලාපීය බලවතුන් නැගී සිටීම හරහා ඇති වන "මහා ඛණ්ඩනය" (The Great Fragmentation) නැමැති භූ-දේශපාලනික වෙනසයි.
2018 සහ 2025 වසරවල් අතර කාලය තුළ ලොව පුරා ඩ්‍රෝන ප්‍රහාර (Drone attacks) එල්ල වීම සියයට 11,500කින් ඉහළ ගොස් ඇති අතර, විවිධ සන්නද්ධ කණ්ඩායම් 565ක් අවම වශයෙන් එක් ඩ්‍රෝන ප්‍රහාරයක් හෝ එල්ල කර තිබේ. එමෙන්ම ඉතිහාසයේ ප්‍රථම වතාවට මිනිස් මැදිහත්වීමකින් තොරව කෘතිම බුද්ධිය (AI) මඟින් සටන් බිමේ තීන්දු තීරණ ගන්නා මට්ටමට තාක්ෂණය වර්ධනය වී තිබෙනවා.
ලොව පුරාසිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ යුද්ධ හේතුවෙන් 2025 වසරේදී පමණක් ගෝලීය ආර්ථිකයට සිදුව ඇති සමස්ත පාඩුව අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 21.81කි. එය සමස්ත ලෝක දේපළ නිෂ්පාදිතයෙන් (Global GDP) සියයට 10.5කට සමාන දැවැන්ත අගයක්.