ලෝක ප්‍රකට ඕස්ට්‍රේලියානු පිළිකා මර්දන විශේෂඥයෙකු සහ වෛද්‍ය පර්යේෂකයෙකු වන මහාචාර්ය රිචඩ් ස්කෝයර් (Richard Scolyer) අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මියයන විට 59 වැනි වියේ පසු වූ ඒ මහතා, දිගු කලක් තිස්සේ දරුණු මොළයේ පිළිකා තත්ත්වයකින් (Glioblastoma) පෙළෙමින් සිටියා.
මොළයේ ඇති වන අතිශය දරුණු සහ වේගයෙන් වර්ධනය වන මෙම පිළිකා තත්ත්වය සඳහා ලොව ප්‍රථම වරට ශල්‍යකර්මයකට පෙර ප්‍රතිශක්තිකරණ ප්‍රතිකාර (Immunotherapy) ලබාගත් ලොව පළමු රෝගියා බවට පත්වූයේ ද ඔහුයි. සුවවීමේ සම්භාවිතාව 10% කටත් වඩා අඩු මට්ටමක පැවති, දැඩි අවදානම් සහගත තත්ත්වයක් වුවද, වෛද්‍ය පර්යේෂණ ක්ෂේත්‍රයේ අනාගතය වෙනුවෙන් ඔහු ස්වේච්ඡාවෙන්ම තම ශරීරය මෙම සායනික පරීක්ෂණය සඳහා දායක කිරීමට තීරණය කළා. ඔහුගේ මෙම අභීත තීරණය එලෙසින්ම ලෝක මාධ්‍යවල දැඩි අවධානයට ලක්වුණා.
මෙම ඓතිහාසික ප්‍රතිකාර ක්‍රමය සහ ශල්‍යකර්මය මෙහෙයවනු ලැබුවේ ඕස්ට්‍රේලියානු සමේ පිළිකා ආයතනයේ (Melanoma Institute Australia) ඔහුගේ ප්‍රධාන පර්යේෂණ සගයා මෙන්ම සම-අධ්‍යක්ෂකවරිය ද වූ මහාචාර්ය ජෝර්ජිනා ලෝන්ග් (Professor Georgina Long) විසින්.
මොවුන් දෙදෙනා වසර ගණනාවක් තිස්සේ සිදුකළ ප්‍රතිශක්තිකරණ ඖෂධ පර්යේෂණ හේතුවෙන්, පෙරදී මාරාන්තික රෝගයක් ලෙස සැලකූ දරුණු ගණයේ සමේ පිළිකා (Melanoma) රෝගීන්ගේ සුව වීමේ ප්‍රතිශතය 10% සිට 50% කට වඩා වැඩි මට්ටමක් දක්වා ඉහළ නැංවීමට සමත් වී තිබුණා.
තම මරණය අපේක්ෂාවෙන් සිටි අවසන් සති කිහිපයේදී ඔහු සමස්ත ඕස්ට්‍රේලියානු ජනතාව වෙත විවෘත සමුගැනීමේ ලිපියක් ලියා තබා තිබුණා. එහි ඔහු මෙසේ සඳහන් කර තිබුණේ මෙවැන්නක්...
"මාගේ ජීවිතයේ අඳුරුතම හෝරාවේදී පවා වෛද්‍ය පර්යේෂණ වෙනුවෙන් දායක වීමට මට අවශ්‍ය වුණා. මා හට ආදරය කළ, මා සමඟ ජීවිතයේ අවදානම් සහගත අවස්ථා බෙදාගත්, මා සමඟ සේවය කළ සහ මට සුබ පැතූ සැමට මා මෙයින් සමුගන්නවා. ඔවුන් මාගේ ජීවිතය සතුටින්, බලාපොරොත්තුවලින් සහ අවස්ථාවන්ගෙන් පූර්ණ කළා."
මහාචාර්ය ස්කෝයර්ගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි (Anthony Albanese) ප්‍රකාශ කළේ, මහාචාර්ය ස්කෝයර් යනු ඕස්ට්‍රේලියාවෙන් බිහිවූ දීප්තිමත්ම විද්‍යාඥයෙකු මෙන්ම අතිශය කරුණාවන්ත හදවතක් ඇති මිනිසෙකු බවයි.
"මේ ශ්‍රේෂ්ඨ මිනිසා අපව දිනපතාම බලාපොරොත්තුවෙන් පිරෙව්වා. ඔහුගේ කැපවීම කොතරම්ද යත්, ඔහු තම වෛද්‍ය පර්යේෂණ තමා මතම අත්හදා බැලීමට තරම් නිර්භීත වුණා," යැයි අග්‍රාමාත්‍යවරයා පවසා සිටියා.
ඕස්ට්‍රේලියානු රජය විසින් ජාතික සම්පතක් ලෙස ඇගයීමට ලක්කළ මහාචාර්ය රිචඩ් ස්කෝයර් සහ මහාචාර්ය ජෝර්ජිනා ලෝන්ග් යන දෙපළ පිළිකා පර්යේෂණ වෙනුවෙන් කළ අනුපමේය මෙහෙවර උදෙසා 2024 වසරේදී "වසරේ විශිෂ්ටතම ඕස්ට්‍රේලියානුවා" (Australian of the Year) සම්මානයෙන් ද පිදුම් ලැබුවා. මහාචාර්ය ස්කෝයර් මහතාගේ මෙම පරිත්‍යාගශීලී සායනික දත්ත පදනම් කරගනිමින් මේ වන විටත් අමෙරිකා එක්සත් ජනපදයේ දරුණු මොළයේ පිළිකා මර්දනය සඳහා නව සායනික පරීක්ෂණ (Clinical Trials) ආරම්භ කර තිබුණා.
ඔහු මියයන තෙක්ම සිය ප්‍රතිකාර ක්‍රමවේදයන් සහ එහි ප්‍රගතිය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ලෝකය දැනුවත් කිරීමට කටයුතු කළා. මියයන විට තිදරු පියෙකු වූ ඒ මහතා, රෝග විද්‍යාඥ (Pathologist) කේටි නිකොල් (Katie Nicholl) මහත්මිය සමඟ විවාහ වී සිටියා. ඔහුගේ අභාවය වෙනුවෙන් ඕස්ට්‍රේලියානු රජය විසින් නිල රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් (State Funeral) පැවැත්වීමට ද තීරණය කර තිබුණා.




අන්තර්ජාලය ඇසුරෙන්..