වන්දනා චාරිකා සඳහා ඉන්දියාවට යන ශ්‍රී ලාංකිකයන් සඳහා වීසා ගාස්තු රහිතව වීසා නිකුත් කිරීම යළි හඳුන්වා දෙන ලද බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.
මෙම ඉල්ලීම් බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කළ යුතු වෙනවා.
10 දෙනෙකු හෝ ඊට වැඩි කණ්ඩායම් වශයෙන් මෙම වීසා අයදුම් කළ යුතු අතර ඔවුන්ගේ ජෛවමිතික දත්ත ලබාදීම සඳහා අයදුම්කරුවන් තමන්ට පහසු පරිදි තනි තනිව හෝ කණ්ඩායමක් වශයෙන් ඉන්දියානු කොන්සියුලර් සේවා අයදුම් කිරීමේ මධ්‍යස්ථානයකට පැමිණිය යුතු වෙනවා.
මෙය ඉන්දීය රජයේ නව රෙගුලාසි යටතේ අනිවාර්ය අවශ්‍යතාවක් බවත්, කෙසේ වෙතත්, ජෛවමිතික දත්ත ලබාදිය යුත්තේ වයස අවුරුදු 12 - 70 අතර අයදුම්කරුවන් පමණක් බවත් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.
ඉහත පරිදි වීසා අයදුම්පත් යොමු කරන ශ්‍රී ලාංකික වන්දනා කරුවන්ගෙන් වීසා ගාස්තුවක් අය නොකෙරෙන අතර, ඒ අනුව ශ්‍රී ලංකා වන්දනා කරුවන් සඳහා වීසා ගාස්තුවේ කිසිදු වෙනසක් පිළිබඳ ප්‍රශ්නයක් මතු නොවෙනු ඇතියි.
කෙසේ වෙතත්, අයදුම්කරුවන් ශ්‍රී ලංකා රුපියල් 1855 ක් වීසා සේවා ගාස්තු වශයෙන් වීසා අයදුම් කිරීමේ මධ්‍යස්ථානයට ගෙවිය යුතු බවද එම කොමසාරිස් කාර්යාලය පවසනවා.