ගිනි ගහන අව්වත් එක්ක පෑවිල්ල සැර වැඩි නිසා අපේ රටේ එළවළු වගාවටත් දැන් දෙයියන්ගේම පිහිට තමයි. මේ ගැන අලුත්ම ආරංචිය වාර්තා වෙන්නේ දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයෙන්.
දඹුල්ලේ වෙළෙඳ සංගමයේ සභාපති සී.ඒ. සිරිවර්ධන මහත්තයා කියන විදිහට, දඹුල්ලට දවසකට ලැබෙන එළවළු තොග එකපාරටම කිලෝ ලක්ෂ දෙකකින්ම (200,000kg) පහළට වැටිලා තියෙනවා. සාමාන්‍යයෙන් දවසකට එළවළු කිලෝ ලක්ෂ හයකට වඩා ආවත්, ඊයේ (28) වෙනකොට ඒක ලක්ෂ හතරක් දක්වා අඩුවෙලා ගිහින්.
ව්‍යාපාරිකයෝ නම් කියන්නේ මේකට ප්‍රධානම හේතුව මේ දවස්වල තියෙන කටුක පෑවිල්ල නිසා ගොවීන්ගේ වගාවන් විනාශ වෙලා යන එකලු. ඒ මදිවට ගොවියන්ට වෙලාවට හරියට පොහොර ටික ලැබිලා නැති එකත් මේ තත්ත්වෙට බලපාලා තියෙනවා කියලයි ආරංචි වෙන්නේ.
තොග අඩු වුණාට තොග මිල ගණන් වල නම් යම් අඩුවීමක් තිබුණා කියලා තමයි සභාපතිවරයා කියන්නේ. හැබැයි මාළුමිරිස් කිලෝවක් නම් රුපියල් 500ත් 550ත් අතර ඉහළම තොග මිලකට තමයි අලෙවි වෙලා තියෙන්නේ. (තොග මිල ඔහොම නම් සිල්ලරට ගන්නකොට ගාණ කොහොම හිටීවිද නේද?)
ඊයේ දඹුල්ලේ අනිත් එළවළුවල තොග මිල සටහන් වුණේ මේ විදිහටයි..
කැරට් කිලෝවක් රුපියල් 230 - 250යි
වම්බටු රුපියල් 350යි
මුරුංගා රුපියල් 150 - 200යි
වට්ටක්කා රුපියල් 115යි
බණ්ඩක්කා රුපියල් 60 - 70යි
ලීක්ස් රුපියල් 200යි
වැටකොළු රුපියල් 170යි
කොහොම වුණත් එළවළු තොග අඩු වුණා කියලා ගන්න එන අයගේ අඩුවක් නම් වෙලා නැහැ. ලංකාව වටෙන්ම එන තොග ගැනුම්කරුවන්ගේ සහ ජංගම වෙළෙඳුන්ගේ පැමිණීම වෙනදා වගේම තිබුණා කියලත්, දඹුල්ලට ආපු එළවළු ටික සේරම අන්තිම ඇටේටම විකිණිලා ගියා කියලත් තමයි ආරංචි වෙන්නේ.
ඉදිරියටත් පෑවිල්ල මේ විදිහටම තිබුණොත් නම්, කෑම එකට එළවළු කෑල්ලක් හොයාගන්න එක ලේසිවෙන එකක් නැහැ!