හිතන්නකෝ රුපියල් ලක්ෂයක් විතර වටින, තමන්ගේ ඉගෙනීමේ වැඩ ඔක්කොම තියෙන ෆෝන් එකක් එකපාරටම නැති වුණොත් දැනෙන දුක. අන්න ඒ වගේ අකරතැබ්බයකට මුහුණ දුන්නු කිලිනොච්චියේ පාසල් සිසුවියකගේ මුහුණට ආයෙමත් හිනාව ගෙනාපු අපූරු සිදුවීමක් ගැන තමයි මේ කියන්න යන්නේ. මේ කතාවේ වීරයා වෙන්නේ වෙන කවුරුත් නෙවෙයි, එප්පාවල පදිංචි රුවන් කුමාර මහත්තයා.
කිලිනොච්චිය, ආනන්ද නගර් ප්‍රදේශයේ පදිංචි පවුලක් ත්‍රිකුණාමලයේ වන්දනාවේ ගිහින් කෝනේෂ්වරම් කෝවිලට ගිය වෙලාවේ තමයි මේ සිදුවීම වෙලා තියෙන්නේ. මේ පවුලේ හිටපු පාසල් යන වයසේ දියණියගේ අතේ තිබුණු රුපියල් ලක්ෂයක් පමණ වටිනා ජංගම දුරකථනය එකපාරටම කඩාපැන්න රිලවෙක් උදුරාගෙන ගිහින්. ෆෝන් එකේ ඇයගේ අධ්‍යාපන කටයුතුවලට අදාළ තොරතුරු රැසක් තිබිලා තියෙනවා. කොච්චර වටිනවද කිව්වොත් මේ ෆෝන් එක නැතිවුණු දුකට ඒ දැරිය සෑහෙන්න අඬලත් තියෙනවලු.
ඔය අතරේ තමයි තමන්ගේ පවුලේ අයත් එක්ක ත්‍රිකුණාමලයේ චාරිකාවක් ගිය එප්පාවල, යකල්ලේගම, 22 කණුව ප්‍රදේශයේ පදිංචි වැලිහේනගමගේ රුවන් කුමාර මහත්තයා මේ කෝවිල පරිශ්‍රයේදීම මේ රිලවා අතේ තියෙන ෆෝන් එක දකින්නේ. කොහොම හරි මේක කාගේ හරි වටිනා ෆෝන් එකක් කියලා තේරුම් ගත්ත රුවන් මහත්තයා, විවිධ උපාය මාර්ග පාවිච්චි කරලා, රිලවාගෙන් ඒ ෆෝන් එක බේරගන්න සමත් වෙලා තියෙනවා.
ෆෝන් එක බේරගත්තට පස්සේ රුවන් මහත්තයා කළේ ඒක සාක්කුවේ දාගන්න එක නෙවෙයි. ඔහු ඒ දුරකථනයේ තිබුණු සිම්පත වෙනත් දුරකථනයකට දාලා, ෆෝන් එකේ නියම අයිතිකාරයා කවුද කියලා හොයාගන්න කටයුතු කරලා තියෙනවා. ඒ අනුව තමයි මේක කිලිනොච්චියේ දැරියකගේ ෆෝන් එකක් කියලා හොයාගෙන තියෙන්නේ.
අවසානයේදී එප්පාවල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේත් උපදෙස් මත, ඊයේ (28) දවසේදී අදාළ සිසුවියගේ පියා වෙන සූර්යකුමාර කුගදාෂන් මහත්තයාට මේ වටිනා දුරකථනය ආපසු භාරදෙන්න රුවන් මහත්තයා කටයුතු කළා. සමාජයේ ගොඩක් අය තමන්ට අහු වෙන දේවල් සාක්කුවේ දාගන්න කාලෙක, එප්පාවල රුවන් කුමාර මහත්තයා කරපු මේ ආදර්ශමත් ක්‍රියාව නම් හැමෝම අගය කරන්නම ඕනේ!