දේශනයක් අතරතුර 2022 වසරේ දී ලෝකප්‍රකට ලේඛක සල්මාන් රුෂ්ඩිට (Salman Rushdie) තියුණු ආයුධයකින් පහර දී එක් ඇසක් අර්ධ වශයෙන් අන්ධ කළ හදි මටාර් (Hadi Matar) අමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් ත්‍රස්තවාදී චෝදනාවලට වරදකරු කර තිබෙනවා.
28 හැවිරිදි හදි මටාර් මේ වනවිටත් එම ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රාන්ත අධිකරණයෙන් වසර 25ක සිරදඬුවමක් විඳින අතර, ෆෙඩරල් නඩුවේ තීන්දුව අනුව ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් පැනවීමේ හැකියාව පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම දඬුවම නොවැම්බර් 3 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
නිව්යෝර්ක් ප්‍රාන්තයේ බෆලෝ නගරයේ පිහිටි අමෙරිකානු ෆෙඩරල් දිස්ත්‍රික් අධිකරණයේ ජූරි සභාව පැය දෙකක පමණ සාකච්ඡාවකින් අනතුරුව සියලුම චෝදනාවලට මටාර් වරදකරු බව තීරණය කර තිබෙනවා.
ඔහුට එරෙහි චෝදනා අතර ඉරානයේ සහාය ලබන ලෙබනනයේ සන්නද්ධ සංවිධානයක් වන හිස්බුල්ලා වෙත ද්‍රව්‍යමය සහාය ලබාදීමට උත්සාහ කිරීම, ජාත්‍යන්තර සීමා ඉක්මවා යන ත්‍රස්තවාදී ක්‍රියාවක නිරත වීම සහ ත්‍රස්තවාදීන්ට සහාය ලබාදීම ඇතුළත්.
1988 දී ප්‍රකාශයට පත් කළ "The Satanic Verses" කෘතිය හේතුවෙන් රුෂ්ඩි වසර ගණනාවක් පුරා මරණ තර්ජනවලට ලක්ව සිටි අතර, 1989දී එවකට ඉරානයේ උත්තරීතර නායකයා වූ Ruhollah Khomeini ඔහු ඝාතනය කරන ලෙස ඉල්ලා ෆත්වා නියෝගයක් ද නිකුත් කර තිබුණා.
ඉරාන රජය 1998දී එම ෆත්වා නියෝගයෙන් දුරස් වූවත්, එය පසුව හිස්බුල්ලා සංවිධානයේ නායකත්වය සහ ඉරානයේ වත්මන් උත්තරීතර නායක Ali Khamenei විසින් නැවතත් අනුමත කර තිබූ බව අමෙරිකානු නීතිපති කාර්යාලය සඳහන් කළා.