පසුගිය කාලයේ මත්පැන් සඳහා පාලන මිලක් ක්‍රියාත්මක වුවද, වර්තමානය වන විට මත්පැන් සඳහා පාලන මිලක් ක්‍රියාත්මක නොවන බැවින් පිරිවැය ඉහළ යාමට සාපේක්ෂව මිල ගණන් වැඩි කිරීමට සමාගම්වලට නීතිමය අවසරය හිමිව ඇති බව මත්පැන් නිෂ්පාදකයෝ පවසනවා.
ඒ අනුව මෙරට වෙළඳපොළේ වැඩිම අලෙවියක් සහිත අතිවිශේෂ (ගල්) අරක්කු මිලිලීටර් 750 බෝතලයක මිල රුපියල් 20කින් ද, එහි භාගයක මිල රුපියල් 10කින් ද ඉහළ දමා ඇති අතර, මීට අමතරව පරණ අරක්කු (Old Arrack) බෝතලයක මිල රුපියල් 50කින් ඉහළ ගොස් තිබෙනවා.
තවද, විස්කි (Whisky) සහ බ්‍රැන්ඩි (Brandy) වර්ගයේ මත්පැන් බෝතලයක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇති අතර, මීට මාසයකට පමණ පෙර ද අදාළ සමාගම විසින් ඇතැම් මත්පැන් වර්ග කිහිපයක මිල ගණන් වැඩි කිරීමට පියවර ගෙන තිබෙන බවයි වාර්තා වෙන්නේ.
කෙසේ වෙතත්, මෙම මිල සංශෝධනය හැර බියර් (Beer) සඳහා වන මිල ගණන්වල කිසිදු වෙනසක් සිදුව නැහැ.