ඒ වෙන කවුරුත් නෙවෙයි, 32 හැවිරිදි ජස්ටින් ග්‍රීව්ස් (Justin Greaves)!
ට්‍රිනිඩෑඩ් වල Tarouba පිටියේදී පාකිස්ථානයට එරෙහිව පැවති ටෙස්ට් තරඟයේදී ග්‍රීව්ස් කළේ අවුරුදු 148ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කිසිම පන්දු යවන්නෙක් නොකරපු අරුම පුදුම හපන්කමක්. ඒ තමයි පිට පිට නිලකුණු ඕවර 5ක් යවලා, ඒ ඕවර 5 තුළදීම කඩුලු 5ක් දවාගැනීම! (5 consecutive wicket-maidens).
ඔහුගේ මේ පන්දු යැවීම කොච්චර භයානකද කිව්වොත් කඩුලු 3කට ලකුණු 244ක් විදිහට ශක්තිමත්ව හිටපු පාකිස්ථාන ඉනිම ලකුණු 282කට සුණු විසුණු වෙලා ගියා.
මුලින්ම පාකිස්ථාන නායක ශාන් මසූඩ්ගේ පිත්තේ ඇතුල් දාරයේ වැදිලා කඩුල්ල බිඳී යන විදිහට පන්දුවක් යැව්වා.
ඊළඟ ඕවරේදී ආමර් ජමාල්ගේ මැද ඉන්න ගලවලා විසිවෙන්නම පන්දුවක් යැව්වා.
තුන්වෙනි කඩුල්ල විදිහට අලි උස්මාන්ව කෙළින්ම LBW කළා.
අවසන් ප්‍රධාන පිතිකරුවා වුණු මොහොමඩ් රිස්වාන්ව Outside edge එකකින් දවා ගත්තා.
දිවා ආහාරයෙන් පසුව ආපු ගමන්ම පළමු ඕවරයේදීම මොහොමඩ් අබ්බාස්වත් කඩුලු රකින්නා අතට උඩපන්දුවක් දීලා දවාගෙන තමන්ගේ කඩුලු 5 සම්පූර්ණ කළා.
ග්‍රීව්ස් මේ විදියට පිට පිට ඕවර 5ක් කඩුලුත් එක්කම නිලකුණුව යවලා උපරිම දස්කම් අතර ඉන්දැද්දී, ඔහුට 6 වෙනි wicket-maiden එකක් ලබාගන්න තිබුණු රන්වන් අවස්ථාව කොදෙව් නායක රොස්ටන් චේස් (Roston Chase) විසින් අහිමි කරලා දැම්මා! දිවා ආහාරයෙන් පස්සේ ඇවිත් කඩුල්ලක් ගත්ත ගමන්ම කැප්ටන් ඔහුව පන්දු යැවීමෙන් අයින් කළා. මේ ගැන Wisden ක්‍රිකට් ලේඛක රෝහිත් ශංකර් (Rohit Sankar) පවා පුදුම වෙලා සටහන් කළේ, "පිට පිට ඕවර 7ක් යැව්වා (මැදින් දිවා ආහාරය තිබුණා). ඒත් ඇයි ඔහුව දැන් පන්දු යැවීමෙන් අයින් කළේ? මේක නම් හිතාගන්නත් බැහැ" කියලයි.
ග්‍රීව්ස්ව අයින් කළාට පස්සේ පාකිස්ථාන අගපෙළ පිතිකරුවන් වුණු කුරාම් ශෙහසාඩ් සහ මොහොමඩ් අලි, ජේඩන් සීල්ස් සහ කෙමාර් රෝච්ට එරෙහිව තවත් ලකුණු 15ක් එකතු කළා. අන්තිමේදී රෝච් තමයි ඉනිම ඉවරයක් කළේ.
මේ ග්‍රීව්ස් කියන්නේ නිකම්ම නිකන් පන්දු යවන්නෙක් නෙවෙයි. ගිය දෙසැම්බර් මාසයේදී නවසීලන්තයට එරෙහිව පරාද වෙන්න ගිය ටෙස්ට් තරඟයක් බේරගන්න නොදැවී ලකුණු 202ක් ගහලා වීරයෙක් වුණු කෙනෙක්. හිටපු කොදෙව් නායක සහ විස්තර විචාරක ඩැරන් ගංගා (Daren Ganga) කිව්වේ, "ජස්ටින් ග්‍රීව්ස් ඉතිහාස පොත්වල තමන්ගේ නම කිසිදා මකා දැමිය නොහැකි ලෙස සටහන් කළා" කියලයි.
ඒ වගේම Wisden සංස්කාරක බෙන් ගාඩ්නර් (Ben Gardner) කියන්නේ, "මිනිස්සු ජස්ටින් ග්‍රීව්ස් කඩුලු 5ක් එක්ක පිට පිට නිලකුණු ඕවර 5ක් යවනවා දැකලත්, තවමත් ටෙස්ට් ක්‍රිකට් මැරීගෙන යනවා කියලා කියයි නම් ඒක විහිළුවක්" කියලයි.