ජපානයේ උත්සුනොමියා (Utsunomiya) නගරයේ ඉතිහාසයේ පළමු වතාවට වලසෙකු සැරිසරනු දැකීම හේතුවෙන්, නගර සභාව මඟින් පාලනය වන සියලුම ප්‍රාථමික සහ කනිෂ්ඨ විද්‍යාල ඇතුළු පාසල් 94ක් තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
වලසා මෙතෙක් අල්ලා ගැනීමට නොහැකි වී ඇති බවයි වාර්තා වෙන්නේ.
ජපානයේ නාගරික ප්‍රදේශ ඇතුළුව වලසුන් මිනිසුන්ට පහරදීමේ සිදුවීම් මෑතකාලීනව සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ඒ හේතුවෙන් සිදුවන අනතුරු අවම කිරීම සඳහා එරට රජය විසින් මේ වසරේදී විශේෂ කාර්ය සාධක බලකායක්ද පිහිටුවා තිබෙනවා.
පසුගිය සතියේ ජපානයේ ඊසානදිග ෆුකුෂිමා නගරයේ සිදුවූ වලස් ප්‍රහාරයකින් පුද්ගලයන් සිව්දෙනෙකු තුවාල ලැබූ අතර, එම වලසා අල්ලා ගැනීමට ද බලධාරීන් අසමත් වුණා.
ලක්ෂ පහකට අධික ජනගහනයක් වසන මෙම නගරයේ නේවාසික සහ වාණිජ කලාප කිහිපයකම මීටරයක් පමණ දිගැති මෙම ආසියාතික කළු වලසා සැරිසරන අයුරු ආරක්ෂිත කැමරාවලද සටහන්ව තිබුණි. පසුගිය සති අන්තයේ සිට අවස්ථා කිහිපයකදීම ප්‍රදේශවාසීන්ට මෙම වලසා දර්ශනය වී ඇති අතර, ඉන් එක් අවස්ථාවක ඌ කනිෂ්ඨ විද්‍යාලයකට ආසන්න ප්‍රදේශයකද ගැවසී ඇත.
සිසුවන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ ආරක්ෂාව තහවුරු කරනු පිණිස පාසල් වසා දැමීමට තීරණය කළ බවත්, වලසා සොයා පොලිසිය සහ ප්‍රාදේශීය දඩයම්කරුවන් ඇතුළු කණ්ඩායම් විශාල මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් නගර සභා බලධාරීන් ප්‍රකාශ කළා. එමෙන්ම නගරය පුරා ශබ්දවාහිනී යන්ත්‍ර සවිකළ රථ යොදවමින්, නිවාස සහ ජනෙල් දොරවල් ආරක්ෂිතව වසා තබන ලෙසත්, අනවශ්‍ය ලෙස පිටතට පැමිණීමෙන් වළකින ලෙසත් ජනතාවට දැනුම් දී තිබෙනවා.
මෑතකාලීනව ජපානයේ නාගරික ප්‍රදේශ කරා වලසුන් පැමිණීමේ සහ මිනිසුන්ට පහරදීමේ සිදුවීම්වල කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන අතර, දේශගුණික විපර්යාස හේතුවෙන් වනාන්තරවල ආහාර හිඟවීම මීට ප්‍රධානතම හේතුවක් බව පරිසරවේදීන් පෙන්වා දෙයි.