හැරියට් - පීටර් යුවලගේ විවාහයේ මෙන්න මේ විශේෂත්වය ගැන ඔබත් දැන සිටියාද..?
කාගේ වුණත් ජීවිතවල විශේෂම දවසක් තමයි තමන්ගේ මංගල දිනය. ලොවක් කතාවුණු රාජකීය පවුලේ ඒ මංගල උත්සවය ගැන මේ ඇසෙන්නේ වෙනස්ම කතාවක්..
දිවංගත දෙවන එලිසබෙත් රැජිනගේ මුණුපුරෙකු වන පීටර් පිලිප්ස් (Peter Phillips) සහ හැරියට් ස්පර්ලින් (Harriet Sperling) පසුගියදා ග්ලොස්ටර්ෂයර්හිදී (Gloucestershire) යුග දිවියට එළඹුණා. එහිදී මනාලිය වූ හැරියට් සිය මංගල මල් කළඹ හරහා දිවංගත රැජිනට උපහාර දැක්වීමට අපූරු සහ සංවේදී පියවරක් ගෙන තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මිලී රිචඩ්සන් (Millie Richardson) නම් මල් සැරසිලි ශිල්පිනිය විසින් නිර්මාණය කරන ලද මෙම මල් කළඹ සඳහා සාම්ප්‍රදායික මෙන්ම පවුලේ උරුමය කියාපාන මල් වර්ග කිහිපයක්ම භාවිත කර තිබුණා. ඒ අතරින් විශේෂයෙන්ම කැපී පෙනුණේ දිවංගත රැජින බෙහෙවින් ප්‍රිය කළ "ලිලි ඔෆ් ද වැලි" (Lily of the Valley) මල් වර්ගයයි. රැජිනගේ මතකයන් වෙනුවෙන් ගෞරවයක් ලෙස ඇය මෙය මල් කළඹට එකතු කර තිබූ අතර, එය රාජකීය ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්වුණා.
මීට අමතරව, හැරියට්ගේ මල් කළඹට මර්ට්ල් (Myrtle) මල් ද ඇතුළත් කර තිබුණා. මෙම මල් වර්ගය ආදරය, සුන්දරත්වය සහ සාමය සංකේතවත් කරන අතර, එය හැරියට්ගේ පවුලේ මෙන්ම බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ ද පරම්පරාගත මංගල සම්ප්‍රදායක් නිරූපණය කරන්නක් බව යුවළගේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබෙනවා.
මල් සැරසිලි ශිල්පිනිය පවසන පරිදි, ක්‍රීම් පැහැති ස්වීට් පීස් (Sweet peas), ජැස්මින් (Jasmine) සහ ඇස්ටිල්බේ (Astilbe) වැනි මල් වර්ග ද එකතු කරමින් ඉතා මෘදු, රොමැන්ටික් මෙන්ම "bowl of cream" (ක්‍රීම් බඳුනක්) බඳු සුන්දර පෙනුමක් මෙම මල් කළඹට ලබා දී තිබෙනවා.
රාජකීය පවුලේ සම්ප්‍රදායන් මනාව සුරකිමින්, දිවංගත රැජින කෙරෙහි වූ ආදරය සහ ගෞරවය නිහඬව ප්‍රකාශ කිරීමට හැරියට් ගත් මෙම තීරණය, ඔවුන්ගේ මංගල දිනයේ දක්නට ලැබුණු වඩාත්ම හැඟීම්බර සහ අර්ථවත් අවස්ථාවක් ලෙස කාගේත් පැසසුමට ලක්ව තිබෙනවා.

