බිස්කට්, අයිස්ක්‍රීම්, චොක්ලට් ඇතුළු රසකැවිලි නිෂ්පාදන මිල එළැඹෙන මැයි මාසය දක්වා වැඩි නොකරන බව වාර්තා වෙනවා. ලංකා රසකැවිලි හිමියන්ගේ සංගමය විසින් මේ බව පැවසුවා.
පෙරේදා සංගමයේ නියෝජිතයන් හා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා ඇමැතිවරයා සමග පැවති සාකච්ඡාවකදී ඔවුන් මේ බව තහවුරු කර තිබෙනවා.
මේ අතර පසුගිය කාලය පුරාවටම රසකැවිලි අමුද්‍රව්‍ය මිල වැඩිවූ නමුත් කොවිඩ් කාලයෙන් පසුවද රසකැවිලි නිෂ්පාදන මිල වැඩි කිරීමක් සිදු නොකළ බව රසකැවිලි හිමිකරුවන්ගේ සංගමයේ සභාපති එස්. එම්. ඩී. සූරියප්පෙරුම පැවසුවා.
නමුත් සීමාසහිත ලාබ සමගින් මෙම කර්මාන්තය පවත්වාගෙන යන බවත්, මාර්තු, අප්‍රේල්, නොවැම්බර් සහ දෙසැම්බර් යන කාලසීමාවන් යනු රසකැවිලි කර්මාන්තයට වඩා හොඳ කාලසීමාවක් බවත් හෙතෙම පැවසුවා.
ඒ අනුව මේ වන විටත් අවුරුදු කාලසීමාව සඳහා රසකැවිලි නිෂ්පාදන බෙදාහරිමින් තිබෙන බවත් පැවසූ ඔහු කියා සිටියේ කුමන අර්බුද පැමිණියද අලුත් අවුරුදු කාලසීමාව අවසන් වනතෙක් නිෂ්පාදනයන්හි මිල වැඩි කිරීමක් සිදු නොකිරීමට තීරණය කළ බවයි.
කෙසේ නමුත් මැයි මාසයෙන් පසුව තවදුරටත් ගෑස්, විදුලිය සහ අමුද්‍රව්‍ය මිල ඉහළ ගියහොත් පමණක් යම් මිල සංශෝධනයකට යොමුවීමට සිදුවන බවත්, එතෙක් කිසිදු මිල වැඩිකිරීමක් සිදු කිරීමට අපේක්ෂා නොකරන බවත් හෙතෙම කියා සිටියා.