මෙම බිහිසුණු මරණයේ සෙවනැල්ලෙන් යන්තම් පණ බේරාගෙන යුද හමුදා බස් රථවලින් බටගොඩ දිවා සුරැකුම් මධ්‍යස්ථානය වෙත රැගෙන යමින් සිටි දයාසීලි නමැති අම්මා කෙනෙකු, තමන් මුහුණ දුන් ඒ මාරක තත්පර කිහිපය ගැන මාධ්‍ය ඉදිරියේ හඬා වැටෙමින් පැවසුවේ මෙවැනි කතාවක්.
“මම දන්නෙත් නෑ. එකපාරටම ගින්නක් පත්තුවෙනවා දැකලා එළියට දිව්වා. මගේ පස්සෙන් අනිත් අයත් එළියට දුවන් ආවා. කට්ටියව බේරගන්න බැරි වුණා. ගොඩක් අය කෑ ගගහා එළියේ දිව්වා. ඒ අය දුවනකොට කෑ ගහපු කට්ටියත් පැනගත්තා.
ඇතුළේ හිටපු ගෑණු කට්ටිය කීපදෙනෙක් පැනගත්තා. පිරිමි කට්ටියත් කීප දෙනෙක් පැන ගත්තා. ඒ කට්ටිය තමා ඉතුරු වුණේ. මේ බස් එකේ ඒ කට්ටිය. මම ගොඩාක් කෑගැහැව්වා. ගන්න දේකුත් නෑ අන්තිමට. සේරම මගේ දේවල් ගිනි ගත්තා. ඇදන් ඉන්න ඇදිවත විතරයි ඉතුරු වුණේ අන්තිමට. කිසිම දෙයක් ගත්තේ නෑ.”
ගින්න හටගන්නා අවස්ථාවේදී මෙම නිවාසය තුළ කාන්තාවන් 37 දෙනෙකු සහ පිරිමින් 35 දෙනෙකු ඇතුළුව වැඩිහිටියන් 72 දෙදෙනෙකු රැඳී සිට තිබෙනවා. ගින්නෙන් තුවාල ලැබූ 08 දෙනෙකු තවමත් හොරණ සහ ගල්පාත රෝහල්වල ප්‍රතිකාර ලබන අතර 51 දෙනෙකු දිවි බේරා ගැනීමට සමත් වී තිබෙනවා.
නමුත්, මේ ව්‍යසනය පිටුපස ඇති බරපතළම හෙළිදරව්ව වන්නේ, බුද්ධිමය ආබාධ සහිත අසරණ රෝගීන් 72 කු පාලනය කිරීමට එහි සිට ඇත්තේ සේවකයින් 5 දෙනෙකු පමණක් වීමයි. සෞඛ්‍ය ආරක්ෂිත කිසිදු ක්‍රමවේදයක් මෙහි තිබී නැහැ.
තවත් පුදුම සහගත කරුණක් වන්නේ, ගින්න හටගන්නා අවස්ථාවට මඳකට පෙර එහි උපන්දින සාදයක් පවත්වා ඇති අතර, ඉන් අනතුරුව සේවකයින් දෙදෙනෙකු පිටතට ගොස් සිට තිබීමයි. ගින්න වෙලාවේ එහි සිට ඇත්තේ සේවකයින් තිදෙනෙකු පමණයි.
මෙම ස්ථානයට පැමිණි ඥාතීන් සහ ප්‍රදේශවාසීන් මෙම ආයතනය පවත්වාගෙන ගිය ආකාරය ගැන බරපතළ චෝදනා රැසක් එල්ල කර තිබෙනවා..
බුද්ධිමය ආබාධ සහිත පුද්ගලයෙකු ඇතුළත් කර ගැනීමට රුපියල් 75,000 ක මුදලක් සහ මාසිකව රුපියල් 3,500 බැගින් අය කර තිබෙනවා. ඊට අමතරව අසනීප සඳහා ප්‍රතිකාර කිරීමට කියා රුපියල් 20,000, 30,000 වැනි විශාල මුදල් ද ලබාගෙන තිබෙනවා.
මෙම නිවස කුලී පදනම මත ලබාගත් එකක් වන අතර, එහි සිටි අසරණ ආබාධිත මිනිසුන්ව උපයෝගී කරගෙන ටික්ටොක් සමාජ මාධ්‍යයේ විවිධ වීඩියෝ ප්‍රචාරය කරමින් මොවුන් විශාල වශයෙන් මුදල් උපයා ඇති බවට ප්‍රදේශවාසීන් කෙළින්ම චෝදනා කරනවා.
නැති බැරි, අසරණ, ආබාධිත මිනිසුන්ගේ ජීවිත සෙල්ලමකට ගෙන ව්‍යාපාරයක් කරමින්, අවසානයේ ඔවුන්ව මහ දවාලේ ගින්නට බිලිදුන් මෙම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරයා වන අම්පාර ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ඉසුරු හෙවත් ලොකු අයියා නමැත්තාව අද (04) හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.