ඉන්දියාවේ ඉදිකර ඇති ලියොනල් මෙසීගේ (Lionel Messi) අඩි 70ක් උසැති යෝධ ප්‍රතිමාවක් සුළඟට සෙලවෙන අයුරු නිරීක්ෂණය වීමෙන් පසු එය ඉවත් කිරීමට පියවර ගනිමින් තිබෙනවා.
බටහිර බෙංගාලයේ කොල්කටා නුවර පිහිටි මෙම යෝධ ස්මාරකය ඉදිකරන ලද්දේ පසුගිය දෙසැම්බර් මාසයේදී මෙසීගේ 'GOAT' (Greatest of All Time) සංචාරය නිමිත්තෙන්.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි, ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු පැමිණිලිවලින් අනතුරුව ඉංජිනේරුවන් කණ්ඩායමක් පසුගිය සඳුදා මෙම ප්‍රතිමාව පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
එහිදී මෙම ප්‍රතිමාවේ ව්‍යුහාත්මක ශක්තිමත්භාවයට දැඩි ලෙස හානි සිදුව ඇති බව අනාවරණය වීමත් සමග, එය වහාම එතැනින් ඉවත් කර වෙනත් ස්ථානයකට ගෙන යන ලෙසයි නියෝග කර ඇත්තේ.
මෙම ප්‍රතිමාව පිහිටා ඇත්තේ අධික වාහන තදබදයක් සහිත මාර්ගයකට සහ උමං දුම්රිය මාර්ගයකට ඉතා ආසන්නයෙන් බැවින්, එය ඉවත් කිරීම පහසු නොවන නමුත් හැකි ඉක්මනින් එය ඉවත් කිරීමට සැලසුම් කර ඇති බව බටහිර බෙංගාල ප්‍රාන්ත මන්ත්‍රී ශරද්වත් මුකර්ජි පවසනවා.
BBC පුවත් සේවයට අනුව, ෆයිබර්ග්ලාස් සහ යකඩ යොදාගෙන නිමවා ඇති මෙම ප්‍රතිමාව දැනට ශක්තිමත් නයිලෝන් ලණුවලින් ගැටගසා ආරක්ෂා කර ඇති අතර, මිනිසුන් සහ වාහන එම ස්ථානයට පැමිණීම වැළැක්වීම සඳහා මාර්ග බාධක ද යොදා තිබෙනවා.
පුද්ගලයන් 45 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දින 27ක් තිස්සේ වෙහෙස වී සකස් කරන ලද මෙම ප්‍රතිමාව සඳහා වෙනත් සුදුසු ස්ථානයක් සෙවීමට බලධාරීන් මේ වන විට කටයුතු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
ලොව බිහිවූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන මෙසී, පසුගිය දෙසැම්බර් මාසයේදී වීඩියෝ තිරයක් හරහා දුරස්ථ පාලකයක් මගින් මෙම ප්‍රතිමාව විවෘත කළා.