බණ්ඩර් අබ්බාස් හි පිහිටි ඉරාන හමුදා කඳවුරක් ඉලක්ක කර ගනිමින් අමෙරිකාව විසින් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල එකවරම ඉහළ ගොස් තිබෙනවා.
අමෙරිකානු මධ්‍යම අණදෙන බලකාය (Centcom) ප්‍රකාශ කළේ, ප්‍රහාරවලට අමතරව හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) අවට නාවික මාර්ගයට තර්ජනයක් එල්ල කළ ඉරාන ඩ්‍රෝන යානා හතරක් ද තම හමුදාවන් විසින් වෙඩි තබා බිම හෙලූ බවයි.
ප්‍රහාරයත් සමඟ ගෝලීය බොරතෙල් මිල දර්ශකයක් වන බ්‍රෙන්ට් (Brent) බොරතෙල් මිල 3.75% කින් ඉහළ ගොස් බැරලයක් ඇමරිකානු ඩොලර් 97.83 ක් (පවුම් 73.15) දක්වා ඉහළ ගිය අතර, අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් මිල (WTI) 4% කින් ඉහළ ගොස් ඩොලර් 92.22 ක් ලෙස සටහන් වුණා.
හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා ඉතා ඉක්මනින් එකඟතාවකට පැමිණෙනු ඇතැයි පැවති බලාපොරොත්තු හේතුවෙන් මේ සතියේදී බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහත වැටී තිබුණ ද, මෙම නවතම ප්‍රහාරයත් සමඟ මිල ගණන් යළිත් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
යුද්ධය ආරම්භ වීමට පෙර ඩොලර් 70 සීමාවේ පැවති බ්‍රෙන්ට් බොරතෙල් මිල, මාස තුනක ගැටුම් කාලය තුළ වරෙක ඩොලර් 120 සීමාව දක්වා ද ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
ලෝක ව්‍යාප්ත බලශක්ති සැපයුමෙන් පහෙන් එකක් (1/5) පමණ ප්‍රවාහනය කරනු ලබන හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට හේතු වූ, මාස තුනක් තිස්සේ පවතින මෙම ගැටුම නිමා කිරීම සඳහා ටෙහෙරානය සහ වොෂින්ටනය අතර සටන් නැවැත්වීමේ එකඟතාවක් (ceasefire) පවතිද්දීම මෙම ප්‍රහාර එල්ල වීම විශේෂත්වයක්.
මෙය දින තුනක් ඇතුළත ඇමරිකාව විසින් ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ දෙවැනි අවස්ථාවයි.
මීට පෙර සතියේ මුල් භාගයේදී දකුණු ඉරානයේ මිසයිල මධ්‍යස්ථාන සහ මුහුදු බෝම්බ (mines) වැපිරීමට උත්සාහ කළ ඉරාන බෝට්ටු ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බව තහවුරු කළ ඇමරිකාව, එම සියලු ප්‍රහාර ස්වයං ආරක්ෂාව උදෙසා සිදු කළ බවයි පවසන්නේ.
ඇමරිකාවේ මෙම නව ප්‍රහාරය "සටන් නැවැත්වීමේ ගිවිසුම බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක්" ලෙස හෙළා දුටු ඉරානය, මෙම සතුරු ක්‍රියාවන්ට නිසි ප්‍රතිචාර නොදක්වා නොසිටින බවට අනතුරු අඟවා තිබෙනවා.
මේ අතර, මැදපෙරදිග කලාපීය නොසන්සුන්තාව තවදුරටත් ඉහළ නංවමින්, තමන් ද "සතුරු මිසයිල සහ ඩ්‍රෝන තර්ජන" කිහිපයක් සාර්ථකව මැඩපැවැත්වූ බව කුවේට් රාජ්‍යයේ ආරක්ෂක අංශ අද (28) නිවේදනය කළ නමුත්, ඒ පිළිබඳ වැඩිදුර විස්තර හෙළි කර නැහැ.