අනියම් සබඳතාවක් මෙම ඝාතනයට හේතුවුණාද..? පොලිසියේ සැකය වෙනස්ම අතකට යද්දී, මේ අන්න ඒ සිද්ධිය ගැන ඇසෙන විශේෂ කතාවක්.
කළුතර වෙට්ටුමකඩ පල්ලියපාර ප්‍රදේශයේදී අද පෙරවරු 8 පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.
යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙක් වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වූ අතර ඔහු තුවාල ලබා කළුතර දකුණ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
පොලිසිය පැවසුවේ හජ් උත්සවය වෙනුවෙන් පල්ලියට ගොස් යළි නිවස බලා යමින් සිටි පුද්ගලයෙක් මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබූ බවයි.
යතුරු පැදියකින් ගමන්කරමින් සිටි ඔහු එන මඟ හරස් කරමින් මෝටර් රථයකින් පැමිණි පිරිසක් එම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.
වෙඩි තබන අයුරු ඒ අසළ CCTV කැමරාවකද සටහන්ව තිබුණා.
වෙඩි වැදීමෙන් මියගියේ කළුතර දකුණු මරික්කාර් වීදිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි විවාහක පුද්ගලයෙක්.
පොලිසිය සැකකරන්නේ පෞද්ගලික හේතුවක් මෙම වෙඩි තැබීමට හේතුවන්නට ඇති බවට සැකකරන බවයි.
එමෙන්ම, සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කළුතර නවීන්ගේ ගෝලයෙක් වන ඉම්රාන් නමැත්තෙකු විසින් මියගිය පුද්ගලයාට මීට පෙර මරණ තර්ජන එල්ලකර ඇති බවට ද තොරතුරු වාර්තා වන බව පොලිසිය පැවසුවා.
පොලිසිය සඳහන් කළේ ඝාතනය සඳහා පැමිණි මෝටර් රථය ඊයේ රාත්‍රියේදී මරික්කාර් වීදියේ පිහිටි ඉම්රාන්ගේ නිවසට ගොස් ඇති බවටද තොරතුරු වාර්තා වන බවයි
කෙසේ වෙතත්, ඝාතනයට හේතුව මෙතෙක් නිෂ්චිතවම හඳුනාගෙන නැහැ.
මෙම වෙඩි තැබීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් විසින් වසරේ මේ දක්වා කරනු ලැබූ වෙඩි තැබීමේ සිදුවීම් ගණන 15ක් දක්වා ඉහළ යන අතර ඉන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.