මෙන්න දැන් එම අතිශය ආන්දෝලනාත්මක නඩුවේ මරණ දඬුවම නියම වී සිටි ප්‍රධාන විත්තිකරුවෙකු බන්ධනාගාරය තුළදීම සියදිවි නසාගෙන ඇති බවට තැතිගන්වනසුලු පුවතක් වාර්තා වෙනවා.
මෙලෙස යාපනය බන්ධනාගාරය තුළදී ඊයේ (24) රාත්‍රියේ සියදිවි හානිකරගෙන ඇත්තේ මරණ දඬුවම නියම වී සිටි පූබාලසිංහම් ජෙයකුමාර් නැමැති 46 හැවිරිදි රැඳවියෙකු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිල වශයෙන් තහවුරු කරනවා.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් සති 3කට පසු සිදුවූ දේ!
2015 වසරේ සිදුවූ මෙම සාහසික අපරාධය වෙනුවෙන් යාපනය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් සුප්‍රකට 'ස්වීස් කුමාර්' ඇතුළු විත්තිකරුවන් පිරිසකට මරණීය දණ්ඩනය පනවනු ලැබුවා. තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබුණත්, ඉකුත් මැයි 6 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම අභියාචනා සියල්ල නිෂ්ප්‍රභ කරමින් මරණ දඬුවම යළිත් ස්ථිර කරනු ලැබුවා.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම අවසන් තීන්දුව ලබාදුන් අතර, එහිදී තවත් විත්තිකරුවන් දෙදෙනෙකුගේ දඬුවම් ඉවත් කිරීමටද නියම වුණා.
සූම් (Zoom) තාක්ෂණයෙන් තීන්දුව අහලා...
විශේෂම කරුණ නම්, මැයි 6 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තමන්ගේ මරණ දඬුවම ස්ථිර කරන අවස්ථාවේදී, මෙම සියදිවි හානිකරගත් ජෙයකුමාර් ඇතුළු විත්තිකරුවන් තිදෙනා බන්ධනාගාරයේ සිට සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ සජීවීව අධිකරණ නියෝගය ශ්‍රවණය කරමින් සිටීමයි.
තමන්ට බේරීමට තිබූ අවසන් අවස්ථාවත් අහිමි වී, මරණ දඬුවම ස්ථිර වීමෙන් ඇතිවූ දැඩි කලකිරීම සහ මානසික පීඩනය නිසා මොහු මෙලෙස සිරකුටිය තුළදීම සියදිවි හානිකරගන්නට ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසනවා.