මුලින්ම පාසල් දරුවන් අතරින් මතු වූ මේ දරුණු රෝගය, දැන් රැඳවූවන් 1,500කට වඩා ඉන්න අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයටත් රිංගලා අවසන්!
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ. සී. ගජනායක මහතා පවසන්නේ, අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ උණ වැලඳී හම්බන්තොට රෝහලට ඇතුළත් කර සිටි එක් රැඳවූවකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ඔහු මියගියේ මොළේ උණ වැලඳීමෙන් බවට දැඩි සැකයක් පවතින නිසා සෞඛ්‍ය අංශ මේ ගැන පුළුල් පරීක්ෂණයක් අරඹලා තිබෙනවා.
එමෙන්ම බන්ධනාගාර රෝහලේ සිටි උණ රෝගීන් 17 දෙනෙකුගෙන් දෙදෙනෙකුටම මොළේ උණ වැලඳී ඇති බව පරීක්ෂණවලින් ස්ථිරවම තහවුරු වී ඇති අතර, තවත් 20ක් පමණ සැකසහිත තත්ත්වයෙන් පසුවනවා.
ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා පවසන්නේ ලංකාවෙන්ම මේ වන විට මොළේ උණ වැලඳුණු රෝගීන් 116ක් වාර්තා වී ඇති බවයි. රෝගීන් වාර්තා වන නගර සහ ගණන් හිලව් මෙන්න..
දෙණියාය (පාසල් 4කින් ඇරඹි),රෝගීන් 50 ක්
දියතලාව,රෝගීන් 28 ක්
රිකිල්ලගස්කඩ,රෝගීන් 25 ක්
වැලිමඩ,රෝගීන් 13 ක්
දෙණියාය ප්‍රදේශයේ පාසල් දරුවන්ට මේ රෝගය බෝවීමට ප්‍රධානම හේතුව වී තිබුණේ ජල මූලාශ්‍ර සහ ආහාර බවයි අනාවරණය වී තිබෙන්නේ. මේ වන විට එම ජල මූලාශ්‍ර පිරිසිදු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා.
මේ රෝගය ආහාර සහ වතුරෙන් විතරක් නෙවෙයි බෝවෙන්නේ. රෝගී අයකුගේ සහ නිරෝගී අයකුගේ මුඛය හරහා (කතා කිරීමේදී, කිවිසීමේදී හෝ කැස්සේදී පිටවන කෙළ බිඳිති මඟින්) ඉතාමත් පහසුවෙන් තවත් කෙනෙකුට ව්‍යාප්ත වෙන්න පුළුවන්!
මොළේ උණ කියන්නේ ඉතාමත් බරපතළ රෝගයක්. ඔබට හෝ ඔබේ නිවසේ කෙනෙකුට තද උණ සමඟ මොළේ උණ රෝග ලක්ෂණ (තද හිසරදය, වමනය, බෙල්ල හරවන්න අපහසු වීම වැනි) තිබේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි. වහාම ප්‍රතිකාර නොගතහොත් විවිධ සංකූලතා ඇතිවී ක්ෂණිකව මරණය පවා සිදුවිය හැකි බව වෛද්‍යවරු දැඩිව මතක් කර සිටිනවා.