මාලදිවයිනේ වාවු අතොළු (Vaavu Atoll) මුහුදු ප්‍රදේශයේ පිහිටි දිය යට ගුහාවක් ගවේෂණය කිරීමට ගොස් මියගිය ඉතාලි ජාතිකයන් සිව්දෙනෙකුගේ සිරුරු සෙවීමේ අවදානම් සහගත මෙහෙයුම සඳහා ජාත්‍යන්තර කිමිදුම් විශේෂඥයන් කණ්ඩායමක් මාලදිවයිනට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
"ඩියුක් ඔෆ් යෝර්ක්" (Duke of York) නෞකාවෙන් පැමිණි ඉතාලි ජාතිකයන් 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක පිරිසක් පසුගිය බ්‍රහස්පතින්දා මෙම අනතුරට මුහුණ දෙනු ලැබුවා.
එහිදී ජීවිතක්ෂයට පත් වූ කිමිදුම් උපදේශක ජියන්ලූකා බෙනඩෙට්ටිගේ සිරුර ගුහාව මුවවිට තිබී සොයාගෙන ඇති අතර, සරසවි මහාචාර්යවරියක, ඇගේ දියණිය සහ තවත් පර්යේෂකයන් දෙදෙනෙකු ඇතුළු අනෙක් සිව්දෙනාගේ සිරුරු මීටර් 70ක් ගැඹුරු සහ මීටර් 200ක් දිගු මෙම අනතුරුදායක ගුහාව තුළ සිරවී ඇති බවටයි විශ්වාස කරන්නේ.
මෙම සිරුරු ගොඩගැනීමේ මෙහෙයුම කොතරම් සංකීර්ණ සහ අවදානම් සහගත ද යන්න සනාථ කරමින්, ඊයේ (16) දින සිදුකළ දෙවන සහන මෙහෙයුම අතරතුරදී මාලදිවයින සතු දක්ෂතම ජ්‍යෙෂ්ඨ හමුදා කිමිදුම් නිලධාරියෙකු වූ 43 හැවිරිදි සැරයන් මොහොමඩ් මහූදි ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔහු මුහුදු පෘෂ්ඨය වෙත පැමිණෙමින් සිටියදී ඇති වූ හදිසි තත්ත්වයක් හේතුවෙන් මෙලෙස මියගොස් ඇති අතර, මාලදිවයින ජනාධිපති මොහොමඩ් මුයිසු ඇතුළු දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වයෙන් පූර්ණ හමුදා ගෞරව සහිතව ඔහුගේ අවසන් කටයුතු මාලේ අගනුවරදී සිදුකර තිබෙනවා.
මෙම දරුණු පසුබෑමෙන් අනතුරුව, ඉතාලි රජයේ නිර්දේශය මත ගෝලීය කිමිදුම් ආරක්ෂණ සංවිධානයකට (DAN) අයත් ෆින්ලන්ත ජාතික විශේෂඥ කිමිදුම්කරුවන් තිදෙනෙකු මාලදිවයිනට පැමිණි අතර, ඔවුන් දේශීය වෙරළාරක්ෂක බලකාය සමඟ එක්ව නව සෙවීමේ උපායමාර්ගයක් සකස් කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මාලදිවයින රජයේ ප්‍රධාන ප්‍රකාශක මොහොමඩ් හුසේන් ෂරීෆ් ප්‍රකාශ කළේ, මෙම මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා ඕස්ට්‍රේලියාවෙන් සහ එක්සත් රාජධානියෙන් විශේෂිත උපකරණ ද, තවත් සිව්වන කිමිදුම් විශේෂඥයෙකු ද කණ්ඩායමට එක්වීමට නියමිත බවයි.