වන අලියකු පහරදීමෙන් මොරගහ උල්පත ගම්මානයේදී මරා දැමුණු පියා සහ දියණියගේ අවමඟුල් උත්සවය පෙරේදාවිල්ගමුව මොරගහ උල්පත සුසාන භූමියේ දී සිදුවුණේ සියල්ලන්ගේම සෝසුසුම් මැදයි.
මියගොස් ඇත්තේ මොරගහ උල්පත ගම්මානයේ පදිංචි ඩබ්ලිව්. ආනන්ද සමරවික්‍රම නමැති 57 හැවිරිදි පියකු සහ ඔහුගේ දියණිය වන 25 හැවිරිදි තනූජා සමරවික්‍රම යන තරුණියයි.
සිද්ධිය වූ ඉකුත් 15 දා තනූජා මොරගහ උල්පත ගම්මානයේ ගොවිපළකට පුහුණුවීම් කටයුත්තක් සඳහා පියා සමග උදේ 8ට පමණ සිදුවී තිබෙනවා. යතුරු පැදියකින් ගමන් ගනිද්දී මාර්ගයේ රැඳී සිටි වන අලියකු පියා සහ දියණියට පහරදී මරාදමා තිබුණා.
මොවුන් දෙදෙනාගේම මරණ පරීක්ෂණය පෙරේදා (16 දා) මහියංගණය රෝහලේ දී හදිසි මරණ පරීක්ෂක ඩබ්ලිව්. එම්. එම්. වීරසේකර විසින් සිදු කෙරුණා.
විල්ගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. සුමේධ බණ්ඩාර, පො.සැ. (18525) කරුණාතිලක යන මහතුන්ගේ සාක්ෂි මෙහෙයවීම යටතේ එහිදී සාක්ෂිදුන් මොරගහ උල්පත පදිංචි පී. ජී. ජයතිස්ස පැවසුවේ මෙවැන්නක්.. "සිද්ධිය වූ දා මම මොරගහ උල්පතගම්මානයේ පාසලට දරුවා එක්ක ගියා.
දරුවා පාසලට දමා ආපසු නිවසට එනවිට මම දැක්කා පාර මැද යතුරු පැදියක් සහ හෙල්මට් එකක් වැටී තියෙනවා. ඒ අසලම මියගිය තනූජා සමරවික්‍රම බිම වැටී සිටියා. ඇය ළඟින් අලියකු සිටින නිසා මම යතුරු පැදිය නැවැත්තුවේ නෑ ටික දුරක් යන විට අපේ ගෙවල් අසලට ජානක ආවා.
මම කීවා තනූජා බිම වැටිලා ඉන්නවා. බයිසිකලය සහ හෙල්මට් එකක් ද තියනවා. අලියා ළඟ ඉන්න නිසා මම යතුරුපැදිය නැවැත්තුවේ නෑ කියලා.
ඊට පස්සේ අපි දෙදෙනාම සිද්ධිය වූ තැනට ගියා. යන විට අලියා අපි ඉන්න දෙසට ආවා. අපි දෙන්නා ආපසු ආවා. නැවතගමේ අය ඇවිත් කෑගහලා අලියා එළෙව්වා. ඊට පසු යන විට තනූජා සහ ඇයගේ පියා ආනන්ද සමරවික්‍රම යන දෙදෙනාම බිම වැටී සිටින නිසා ඉක්මණින් හෙට්ටි පොළ රෝහලට අරන් ගියා. රෝහලට යන විටත් දෙදෙනාම මියගොස් සිටියා.." යැයි සාක්ෂිකරු වන ජයතිස්ස පැවසුවා.
මරණ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මහියංගණය රෝහලේ දී අධිකරණ වෛද්‍ය නිලධාරී විසින් පවත්වනු ලබනවා. මෙම මරණ අලියකු විසින් පහරදී බරපතළ තුවාල සිදුවීමෙන් සිදු වූ මරණයක් බව හදිසි මරණ පරීක්ෂක වීරසේකර මහතා තීරණය කළා.