මාස ගණනාවක් පුරාවට අතුරුදන්ව සිටි දෙබරගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කළ බඹරගල අභයවංශ හිමිපාණන්ගේ බවට සැකකෙරෙන අස්ථි කොටස් සේනාසනයට යාබද කැලෑවේ තිබී හමුවී තිබෙනවා.
ඒ, සේනාසන භූමියේ සිට කිලෝ මීටර් 02ක් පමණ දුරින් පිහිටි වනාන්තර ප්‍රදේශයෙන්.
මී පැණි සෙවීම සඳහා කැලෑවට ගිය පිරිසක් විසින් මෙම අස්ථි කොටස් මුලින්ම දැක තිබෙනවා. පසුව ඔවුන් විසින් ඒ පිළිබඳව කුච්චවේලි පිච්චමල් විහාරවාසී කැප්පෙටියාවේ අරණ විහාරයේ හිමියන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණා.
උන්වහන්සේ විසින් කුච්චවේලි පොලීසියට කළ දැනුම් දීමකට අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන්, පසුගිය සෙනසුරාදා (04) එම ස්ථානයට ගොස් පරීක්ෂණ පවත්වා තිබෙනවා. එහිදී ගසක් පාමුල තිබූ අස්ථි කොටස් සමඟ අභයවංශ හිමියන් භාවිතා කළ උපැස් යුවල, ඖෂධ කිහිපයක් සහ චීවරයේ කොටස් ද හමුවී ඇති අතර, ඒ හේතුවෙන් මෙම කොටස් අතුරුදන් වූ භික්ෂූන් වහන්සේගේම බවට පොලීසිය දැඩි විශ්වාසයක් පළ කරනවා.
මෙසේ අපවත් වන්නට ඇතැයි සැකකෙරෙන අභයවංශ හිමියන්, පැවිදි දිවියට ඇතුළත් වීමට පෙර කලක් බටහිර වෛද්‍යවරයෙක් ලෙස සේවයේ නිරතව සිට තිබෙනවා. උන්වහන්සේ අවසන් වරට කොස්ගම සාලාව රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියා (DMO) ලෙස සේවය කර, පසුව සසුන් ගතවී ඇති බව වාර්තා වුණා.
උන්වහන්සේ භාවනානුයෝගීව වැඩ විසූ මෙම සේනාසනය පිහිටා ඇත්තේ වන සතුන් බහුල වනාන්තරයක් මැදයි. වන මැදින් තනිවම වැඩම කරමින් සිටියදී උන්වහන්සේ මෙලෙස අතුරුදන්ව ඇති අතර, ඉන්පසුව මාසයකට වැඩි කාලයක් තිස්සේ යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කැලෑව පීරමින් සෝදිසි මෙහෙයුම් සිදු කළත් කිසිදු තොරතුරක් හමුනොවීම නිසා එම මෙහෙයුම් තාවකාලිකව නවත්වා තිබුණා.
අස්ථි කොටස් හමුවූ ස්ථානයට ත්‍රිකුණාමලය වැඩ බලන මහේස්ත්‍රාත් ඒ.එස්.එම්. සාහිර් පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වා වැඩිදුර වාර්තාවක් කුච්චවේලි සංචාරක මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කර තිබෙනවා.
පුල්මුඩේ සහකාර පොලිස් අධිකාරී චරිත ඒ.බී. ජයසුන්දරගේ උපදෙස් මත කුච්චවේලි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.ඩී. පද්මනන්දන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා.