තිරිඟු පිටි මිල එකපාරටම ඉහළ යාමත් එක්ක අද (30) ඉඳන් කඩෙන් කන කෙටි ආහාරවල මිල ගණන් වැඩි කරන්න සමස්ත ලංකා අවන්හල් සහ ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පවසන පරිදි අද සිට ක්‍රියාත්මක වන නව මිල ගණන් මෙසේයි..
පරාටා, බිත්තර රොටි, එළවළු රොටි, රෝල්ස් සහ පැටිස් ඇතුළු සියලුම කෙටි ආහාර මිල රුපියල් 5කින් ඉහළ දමා ඇත.
ඉඳිආප්පයක මිල ද රුපියලකින් වැඩි කිරීමට තීරණය කර තිබේ.
ඊයේ (29) සිට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 17කින් වැඩි කිරීම මෙම හදිසි මිල ඉහළ දැමීමට හේතු වී තිබෙනවා. මැදපෙරදිග යුද තත්ත්වය ආරම්භ වූ පසුගිය පෙබරවාරි මාසයේ සිට නැව් ගාස්තු, රක්ෂණ ගාස්තු සහ ධාන්‍ය මිල විශාල ලෙස ඉහළ යාම මෙලෙස පිටි මිල වැඩි කිරීමට ප්‍රධාන හේතුව බවයි අදාළ සමාගම් පෙන්වා දෙන්නේ.
කෙටි ආහාර මිල වැඩි වුවද, පාන් ඇතුළු බේකරි කෑමවල මිල සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කරන්නේ, බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමනවාද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය හෙට දිනයේදී මාධ්‍යයට දැනුම් දෙන බවයි. කෙසේ වෙතත්, පිටි මිල ඉහළ ගොස් ඇති බැවින් බේකරි කෑමවල මිලත් අනිවාර්යයෙන්ම ඉහළ යනු ඇති බවටයි පාරිභෝගිකයින් සැක පළ කරන්නේ.