මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ඛාව්ඩා කඳුකර ප්‍රදේශයේදී ප්‍රපාතයකින් පහළට ඇද වැටීමෙන් තමයි මේ විදිහට එකම පවුලේ මව, පියා සහ පුත්‍රයා එකවරම ජීවිතක්ෂයට පත්වෙලා තියෙන්නේ.
සිද්ධියට මුහුණ දීලා තියෙන්නේ 18 හැවිරිදි තරුණයෙක්. තමන්ට ජංගම දුරකථනයක් අරන් දෙන්න කියලා ඔහු දෙමාපියන්ට දැඩි සේ බලපෑම් කරලා තියෙනවා. ඉල්ලීම ඉටු නොවුණු තැන කෝපයට පත්වුණු මේ තරුණයා ඛාව්ඩා කඳු මුදුනට නැගලා, මහා ප්‍රපාතයක් අද්දරට ගිහින් තමන් සියදිවි නසාගන්නා බවට දෙමාපියන්ට තර්ජනය කරලා.
ඔහුගේ මේ හිතුවක්කාර ක්‍රියාවත් එක්ක එතැනට ගම්වාසීන්, පොලිස් නිලධාරීන් වගේම තරුණයාගේ මවද පැමිණ තිබෙනවා. පැය තුනකට ආසන්න කාලයක් තිස්සේ හැමෝම එකතුවෙලා මේ තරුණයාව එතැනින් ඉවතට ගන්න දැඩි උත්සාහයක නිරත වෙලා තියෙනවා.
නමුත් කිසිවෙකුගේ කීමකට කන් නොදුන් ඔහු දිගින් දිගටම ප්‍රපාතය අසලම රැඳී ඉඳලා. අන්තිමේදී තරුණයාගේ පියා කඳු මුදුනට නැගලා පුතාට කරුණු පැහැදිලි කරන්න උත්සාහ කරලා තියෙනවා. කතා කරන අතරතුර එකවරම පියා විසින් ඔහුව අල්ලා බේරා ගැනීමට උත්සාහ කරද්දී, සමබරතාවය ගිලිහී ගිය දෙදෙනාම අඩි ගණනක් පහළ මහා ප්‍රපාතයට ඇද වැටී තිබෙනවා.
මේ කතාවේ සංවේදීම සහ කම්පනයටම පත්වෙන සිදුවීම වෙන්නේ ඉන් අනතුරුවයි. තමන්ගේ සැමියා සහ ආදරණීය පුත්‍රයා එකවරම ප්‍රපාතයෙන් පහළට වැටෙනවා දැකලා දරාගන්න බැරි වුණු අම්මාත්, කිසිවෙකුටත් හිතාගන්නවත් ඉඩක් නොතියා ඒ මොහොතේම කඳු මුදුනෙන් පහළට පැනලා.
එකම එක ජංගම දුරකථනයකට තිබුණු කෑදරකමත්, ඒ වෙනුවෙන් කරපු හිතුවක්කාරකමත් නිසා අද ඒ පවුලේ තුන්දෙනාම ජීවතුන් අතර නැහැ. මේක අද සමාජයේ හැමෝටම ලොකු පාඩමක්!