ඒ තමයි කිසිම ප්‍රමිතියක් නැති, කතාන්දරයත් අග මුල නැති අඩු වියදම් චීන ඇනිමේෂන් චිත්‍රපටයක් එකපාරටම ලෝකේ පුරාම වයිරල් වෙලා බොක්ස් ඔෆිස් වාර්තා කුඩුපට්ටම් කරපු ආරංචිය!
සිහිනයක සිදුවන සිදුවීම් මාලාවක් සහ ගවයකු වටා ගෙතුණු මේ චිත්‍රපටිය මුලින්ම ප්‍රදර්ශනය ඇරඹුවාම කවුරුත් ඒ හැටි ගණන් ගත්තේ නැහැ.
මුල් දින 10යේ ආදායම - චීන යුවාන් 7,705ක් වගේ ඉතාමත් සුළු මුදලක්.
අනපේක්ෂිත ආදායම - ඊට පස්සේ එකපාරටම මේක සමාජ මාධ්‍යවල වයිරල් වෙලා, ආදායම යුවාන් මිලියන 11.4 සීමාවත් පහු කළා
දැන් මේ කැතම කැත ෆිල්ම් එක හොලිවුඩ් බ්ලොක්බස්ටර් චිත්‍රපට එක්කත් කරට කර තරග කරන තත්ත්වයට පත්වෙලා.
මේ දවස්වල සමාජ මාධ්‍ය පුරාම කෘත්‍රිම බුද්ධියෙන් (AI) හදපු නිර්මාණ පිරිලා ඉතිරිලා (AI slop) ගිහින්නෙ තියෙන්නේ. ඉතින් සමාජ මාධ්‍ය පරිශීලකයින් මේ ෆිල්ම් එක වැළඳගත්තේ ඒ AI රැල්ලට එරෙහිව ආපු නියම ප්‍රතිශක්තියක් විදිහටයි. කිසිම AI තාක්ෂණයක් පාවිච්චි නොකර, අතින්ම සජීවීකරණය කරලා තියෙන නිසා මේකෙ තියෙන සැබෑ ශිල්පීය හැකියාව රසිකයෝ ඉහළින්ම අගය කරනවා.
මේ චිත්‍රපටියට අඩුම තරමේ නිල ප්‍රචාරක පෝස්ටරයක්වත් තිබිලා නැහැ. ඒ නිසා සිනමාහල්වල වැඩ කරන සේවකයින්ට සිද්ධ වෙලා තියෙනවා අතින් චිත්‍ර ඇඳලා මේකේ පෝස්ටර් ප්‍රදර්ශනය කරන්න. මේ වැඩෙත් මේ ෆිල්ම් එක මේ තරම් වයිරල් වෙන්න තවත් ප්‍රධාන හේතුවක්.
චීන භාෂාවෙන් ගොනා (bull) සහ ගවයා (cow) කියන වචන දෙකටම පදනම් වෙන්නේ එකම අක්ෂරයක්. ඉතින් මේ චිත්‍රපටයේ නම, කොටස් වෙළඳපොළේ ලාභදායී තත්ත්වයක් පෙන්නුම් කරන ගොන් වෙළඳපොළ (bullish stock market) කියන අදහසත් එක්ක සම්බන්ධ කරගෙන, වාසනාව උරගා බලන්නත් චීන රසිකයෝ සිනමාහල්වලට පෝලිම් ගැහිලා.
කොහොම වුණත්, මේ හිට් එකත් එක්කම රාජ්‍ය සතු චීන පුවත්පතකින් නම් ලොකු අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වගේ අඩු ප්‍රමිතියෙන් යුත් චිත්‍රපට දිගින් දිගටම ප්‍රදර්ශනය කළහොත්, සිනමාහල් ගැන ප්‍රේක්ෂකයින්ට තියෙන විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳී යන්න පුළුවන් කියලයි.