හැබැයි දහසක් බාධක මැද ඒ හීනය හැබෑ කරගත්තත්, සමාජය ඇතුළේ ඔවුන්ට නිසි තැන ලැබෙන්නේ නැත්නම් ඒක කොතරම් කණගාටුදායකද? ලංකාවේ ශ්‍රව්‍යාබාධිත උපාධිධාරීන්ටත් අද මුහුණ දෙන්න වෙලා තියෙන්නේ අන්න ඒ වගේ බරපතල ප්‍රශ්නයකටයි.
මේ දැවෙන විරැකියා ප්‍රශ්නයට උත්තර හොයන්න සහ තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නඟන්න, ශ්‍රී ලංකාවේ ශ්‍රව්‍යාබාධිත උපාධිධාරීන් පිරිසක් එකතු වෙලා අලුත්ම සංගමයක් පිහිටුවලා තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත උපාධිධාරීන්ගේ සංගමය (SLDGA).
කොළඹ, මොරටුව, කැලණිය, ශ්‍රී ජයවර්ධනපුර සහ රුහුණ කියන ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවලින් විද්‍යා, වාණිජ, කලා සහ අභ්‍යන්තර උපාධි ලබාගත් දක්ෂ තරුණ තරුණියන් පිරිසක් තමයි මේ සංගමය නියෝජනය කරන්නේ. කණගාටුවට කරුණ වෙන්නේ මේ තරම් දුක් මහන්සි වෙලා උපාධියක් අරගත්තත්, අදටත් ඔවුන්ගෙන් බහුතරයක් ඉන්නේ කිසිම රැකියාවක් නැතුවයි.
ඒ නිසාම මේ අලුත් සංගමය හරහා ඔවුන්ගේ හැකියා හා කුසලතාවන්ට ගැළපෙන රැකියා අවස්ථා ලබා ගැනීම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඔවුන් මුහුණ දෙන ගැටලුවලට නිසි විසඳුම් සෙවීම සහ සමාජය තුළ ඔවුන්ට හිමිවිය යුතු නිසි පිළිගැනීම ලබා ගැනීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වෙලා තියෙනවා.
"Friendly together - 2026" පළමු පියවර සාර්ථකයි!
මේ අලුත් සංගමයේ පළමු සාමාජික හමුව "Friendly together - 2026" නමින් පහුගියදා මොරටුව ප්‍රදේශයේදී ඉතා සාර්ථකව පවත්වලා තිබුණා. එතනදී මේ සංගමයේ ඉදිරි වැඩකටයුතු මෙහෙයවන්න නව විධායක කමිටුවකුත් පත්කරගෙන තියෙනවා.
සභාපති: නිතිල සල්පදෝරු
ලේකම්: උමාෂා චමෝදි
භාණ්ඩාගාරික: සඳුනි අහිංසා
වැඩසටහන් සංවිධායක: ඕෂාධි පලන්සූරිය
තමන්ගේ අනාගතය සුරක්ෂිත කරගන්න මේ දක්ෂ තරුණ තරුණියන් ගත්තු මේ පියවරට අපිත් හදවතින්ම සුබ පතමු!