ඊට පස්සේ කොච්චර උත්සාහ කළත් ආයෙත් නින්ද යන්නේ නැතුව පැත්තෙන් පැත්තට පෙරළි පෙරළි ඉන්න සිද්ධ වෙනවා.
මෙහෙම වෙන්නේ මොකද? අන්තර්ජාලයේ නම් තියෙන්නේ මානසික ආතතිය, හෝමෝන ප්‍රශ්න, ආධ්‍යාත්මික බලපෑම්, නැත්නම් බරපතළ ලෙඩ රෝග කියලා...ඒත් ඇත්තටම මේක භයානක ලෙඩක්ද? නින්ද පිළිබඳ ලෝකප්‍රකට විශේෂඥයින් කියන්නේ වෙනස්ම කතාවක්..
එක්සත් රාජධානියේ 'Sleepyhead' සායනයේ අධ්‍යක්ෂිකා මෙන්ම නින්ද පිළිබඳ ශාරීරික විද්‍යාඥ ස්ටෙෆනි රොමිෂෙෆ්ස්කි (Stephanie Romiszewski) පවසන්නේ, රාත්‍රිය අතරතුර කිහිප වතාවක් අවදි වීම ඉතාමත් සාමාන්‍ය දෙයක් බවයි.
අපේ නින්ද කියන්නේ විනාඩි 90ක විතර චක්‍රයක්. නිරෝගී කෙනෙක් රෑකට දෙපාරක් විතර මේ විදිහට ඇහැරෙනවා. හැබැයි ගොඩක් වෙලාවට ඒක තත්පර කිහිපයකට විතරක් වෙන නිසා අපිට ඒක මතක හිටින්නේ නැහැ.
රාත්‍රියේ මුල් භාගයේදී තද නින්දක් තිබුණත්, පාන්දර වෙද්දී නින්ද සැහැල්ලු වෙනවා. අන්න ඒ වෙලාවට පුංචි සද්දෙකින් පවා අපිව ඇහැරෙන්න පුළුවන්.
ගැටලුව තියෙන්නේ ඇහැරුණාට පස්සේ "අයියෝ මට ආයෙත් නින්ද යන්නේ නැති වෙයිද" කියලා මොළයෙන් හිතන්න ගත්තම ප්‍රශ්නය පටන් ගන්නවා.
උදේට ශරීරය සූදානම් කරන්න කෝටිසෝල් (Cortisol) හෝමෝනය ක්‍රමයෙන් ඉහළ යනවා. ඒත් ඔබ බියෙන් හෝ කාංසාවෙන් පසුවෙනවා නම් මේ හෝමෝනය ක්ෂණිකව ඉහළ ගිහින් නින්ද සම්පූර්ණයෙන්ම පන්නා දමනවා. "ඔබ නින්දට වැටෙන්න වැඩි ආයාසයක් දරන තරමට, නින්ද ඔබෙන් ඈත් වෙනවා" කියලායි විශේෂඥයින් කියන්නේ.
විශේෂඥ වෛද්‍ය ප්‍රශාන්ත් මකීජා පවසන විදියට මත්පැන් බිව්වම ඉක්මනට නින්ද ගියාට, පැය 3-4කට පස්සේ අක්මාව මගින් ඒක ජීර්ණය කරද්දී ශරීරය උත්තේජනය වෙලා නින්ද කැඩෙනවා.
රෑට බරට කෑම ගැනීම, සීනි සහ කැෆීන් අධික ලෙස ගැනීම නිසා නින්දට බාධා වෙනවා. නින්දේදී හුස්ම සිරවීම, පාදවල වේදනාව, තයිරොයිඩ් අමාරු නිසාත් මෙහෙම වෙන්න පුළුවන්.
පර්යේෂණවලට අනුව පිරිමින්ට වඩා කාන්තාවන් රෑට වැඩි වාර ගණනක් ඇහැරෙනවා. ඔසප් වීම, ගැබ් ගැනීම, ආර්තවහරණය වගේ හෝමෝන වෙනස්කම් විතරක් නෙවෙයි, පවුලේ සහ රැකියාවේ බර තනිවම දරන්න යාම නිසා ඇතිවන මානසික පීඩනයත් මෙයට හේතුවක්..
ඇහැරුණු ගමන් ෆෝන් එක අතට අරන් වේලාව බලන්න එපා... ඒකෙන් වෙන්නේ බය වැඩි වෙන එක. විනාඩි 20ක් ගියත් නින්ද යන්නේ නැත්නම් ඇඳේ ඉන්නේ නැතුව වෙන කාමරයකට ගිහින් අඩු ආලෝකයේ වෙනත් පොඩි වැඩක යෙදෙන්න. නිදිමත ආවම විතරක් ආයෙත් ඇඳට යන්න.
දිනපතා එකම වේලාවකට අවදි වීම සහ උදේ පාන්දරම අව්වට නිරාවරණය වීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඔරලෝසුව නිවැරදි වෙනවා.
ඔබටත් මේ ප්‍රශ්නය දිගින් දිගටම තියෙනවා නම් සහ දෛනික වැඩවලට බලපානවා නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුයි.
bbc පුවත් සේවය ඇසුරෙන්