සිද්ධිය වෙන්නේ මෙහෙමයි... අදාළ ව්‍යාපාරිකයා යටතේ ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටි පෙදරේරුවෙක්, කොළඹට එන තමන්ගේ පෙම්වතියට එක රැයකට නවාතැන් දිය හැකිදැයි ව්‍යාපාරිකයාගෙන් ඉල්ලා තිබෙනවා. තමන් නිවසේ තනිව වෙසෙන බැවින් පෙම්වතියට පමණක් නවාතැන් දිය නොහැකි බවත්, ඇගේ මව සමඟ පැමිණෙන්නේ නම් නවාතැන් දිය හැකි බවත් ව්‍යාපාරිකයා පවසා තිබුණා.
නමුත් මේ සියල්ල පෙදරේරුවා සහ පෙම්වතිය එකතු වී ගහපු ප්ලෑන් එකක්... පෙදරේරුවාගේ උපදෙස් මත, මව සමඟ පැමිණි පෙම්වතිය එක රැයක් නිවසේ නතර වී සිටින අතරතුර ව්‍යාපාරිකයාගේ බැංකු කාඩ්පත් දෙකක් සොරකම් කර රාත්‍රියේදීම පලා ගොස් තිබෙනවා.
පලා යන අතරතුර පෙදරේරුවා ද ඔවුන් සමඟ එකතු වී ඇති අතර, අතරමගදී බැංකු කාඩ්පතෙන් රුපියල් පනස්දහසක් අරගෙන වාද්දුව ප්‍රදේශයට ගොස් එදිනම තමන්ගේ විවාහය ලියාපදිංචි කර තිබෙනවා. එපමණක් නොව, එදින රාත්‍රියේ වාද්දුව ප්‍රදේශයේ හෝටලයක අතිඋත්කර්ෂවත් ලෙස මංගල මධුසමයද ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, පහුවදා මොවුන් වැලිගම ප්‍රදේශයට යමින් සිටියදී වෙනත් වරෙන්තු කිහිපයක් සහ මත්ද්‍රව්‍ය ද සමඟ පෙදරේරුවා වැලිගම පොලිසියට කොටුවනවා...
පෙම්වතා පොලිසියට අහුවුණාට පස්සේ මාතරට ගිය සැකකාරිය, සොරාගත් බැංකු කාඩ්පත් භාවිත කරමින් නවීන ජංගම දුරකතන දෙකක්, රන් භාණ්ඩ ඇතුළු බොහෝ දේ මිලදී ගෙන රිසිසේ සල්ලි වියදම් කර තිබෙනවා.
අවසානයේ වෙළෙඳසැල්වල CCTV දර්ශන ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ අතුරුගිරිය පොලිසිය මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට, සිරිබෝපුර පදිංචි 26 හැවිරිදි එක්දරු මවක්.
ව්‍යාපාරිකයා කළ උදව්වට තට්ටු කරලා, පෙම්වතා එක්ක මධුසමයත් ගත කරලා අන්තිමේදී කුඩුවේ වැටුණු මේ අමුතු පෙම්වතියව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.