ඒ පාසලක් තුළ සිදුවුණු දරුණු වෙඩි තැබීමකින් ගුරුවරියක් මියගොස් තවත් කිහිපදෙනෙකුට බරපතළ තුවාල සිදුවීමේ ඛේදනීය සිදුවීමක් ගැනයි.
බැංකොක් නගරයට ආසන්න නොන්තබුරි (Nonthaburi) ප්‍රදේශයේ පිහිටි ඩෙබ්සිරින් නොන්තබුරි (Debsirin Nonthaburi) කියන පාසලේ තමයි මේ බිහිසුණු වෙඩි තැබීම සිද්ධ වෙලා තියෙන්නේ. මේ ප්‍රහාරයෙන් එක් ගුරුවරියක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වෙලා තියෙන අතර, තවත් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කරලා තියෙනවා.
හැබැයි මේ සිද්ධියේ තියෙන කනගාටුදායකම සහ කම්පනයට පත් කරන කතාව ඒක නෙවෙයි. තායිලන්ත පොලිසිය කියන විදිහට මේ සාහසික වෙඩි තැබීම සිදුකරලා තියෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි, ඒ පාසලේම ඉගෙනගන්නා සිසුවෙක්! ගුරුවරියට සහ පාසල් මිතුරන්ට ප්‍රහාරය එල්ල කරපු මේ සිසුවා, අවසානයේදී තමන්ටම වෙඩි තියාගෙන සියදිවි නසාගෙන තිබීම මුළු රටම කඳුළු සයුරක ගිල්වන්නක් වෙලා.
වෙඩි හඬ ඇසෙනවාත් එක්කම පාසල පුරා ලොකු භීතියක් පැතිරිලා ගිහින්. වහාම ක්‍රියාත්මක වුණු ගිලන් රථ සහ හදිසි සහන කණ්ඩායම් පාසලට ඇවිත්, බියෙන් ගැහෙමින් හිටපු අනිත් සිසුන්ව ආරක්ෂිතව එතැනින් ඉවත් කරන්න කටයුතු කරලා තියෙනවා.
මේ භයානක අත්දැකීමට මුහුණ දුන්නු 18 හැවිරිදි පාසල් සිසුවෙක් මාධ්‍යයට කියලා තිබුණේ මේ වගේ කතාවක්. "මුලින්ම සද්දේ ඇහෙද්දී මම හිතුවේ කවුරුහරි රතිඤ්ඤා පත්තු කරනවා කියලා. ඒත් ඊටපස්සේ නොකඩවා වෙඩි හඬවල් ඇහෙන්න ගත්තා. එතකොට තමයි තේරුණේ මේක රතිඤ්ඤා සද්දයක් නෙවෙයි කියලා..."
ප්‍රාදේශීය බලධාරීන් පවසන විදිහට, 2025 අධ්‍යයන වර්ෂය සඳහා මේ පාසලේ සිසුන් 3,100කට අධික පිරිසක් ඉගෙනුම ලබනවා වගේම ගුරුවරුන් 147 දෙනෙකු සේවය කරමින් ඉඳලා තියෙනවා. මේ තරම් විශාල සිසුන් පිරිසක් ඉන්න පාසලක් ඇතුළට මේ සිසුවා ගිනි අවියක් අරගෙන ආවේ කොහොමද? ඔහුට මේ තරම් තරහක් ආවේ ඇයි? කියන කාරණා ගැන තායිලන්ත පොලිසිය මේ වෙද්දිත් දැඩි පරීක්ෂණයක් ආරම්භ කරලයි තියෙන්නේ.