ඒ වගේ මුළු ලෝකයේම මිනිස්සුන්ගේ නෙතට කඳුළක් ගෙනාපු, අහන ඕනෑම කෙනෙකුගේ හදවතම උණු වෙන අපූරු සමුගැනීමක් ගැන තමයි මේ කතාව.
මේ සංවේදී කතාවේ ප්‍රධානියා වෙන්නේ ඩියේගෝ ජිමිනෙස් (Diego Jiménez) සහ ඔහුගේ ආදරණීය සුනඛයා වුණු තායි (Thai). තායි කියන්නේ අවුරුදු 16ක් පුරාවටම ඩියේගෝගේ ජීවිතේ සෙවණැල්ල වගේ ළඟින්ම හිටපු හොඳම යාළුවා. හැබැයි අවාසනාවන්ත විදිහට මේ ආදරණීය යාළුවා පිළිකා රෝගයකට ගොදුරු වෙලා, අවසන් හුස්ම හෙළන මොහොත ළඟා වෙලා තිබුණා.
තම හොඳම මිතුරාට අවසන් වරට සමුදෙන්න ඩියේගෝ තෝරාගත්තේ එයාලා ජීවිතේ වැඩිපුරම සතුට බෙදාගත්තු තැන... ඒ කියන්නේ මුහුදු රළ අතරයි. ඩියේගෝ තමන්ගේ ආදරණීය තායිව සර්ෆ්බෝඩ් (Surfboard) එකක් මතට වඩාගෙන මුහුද මැදට ගිහින්, මුහුදු ජලය මත මල් පෙති විසුරුවමින් ඉතාමත් සංවේදී විදිහට තම සුරතලාට අවසන් සමුගැනීම ලබා දුන්නා. ඔවුන් දෙදෙනාගේම මේ අවසන් මතකය මුහුදු රළ මත සටහන් වුණේ කාගේත් නෙත්වලට කඳුළක් එක් කරමින්.
පසුව ඩියේගෝ තමන්ගේ ආදරණීය යාළුවා වෙනුවෙන් හිතට වදින සංවේදී සටහනකුත් එක්කරලා තිබුණා. ඔහු එහි මෙලෙස සඳහන් කර තිබුණා...
"අපි ඉක්මනින් හමුවෙමු... සෑම රළ පහරකින්ම, සෑම හිරු බැසයාමකින්ම, සැමවිටම මුහුදේ අපි එකිනෙකාව දැනගනිමු"
වසර දහසයක නිහඬ, ඒත් අසීමිත ආදරයක අවසානය සනිටුහන් කරපු මේ අපූරු සමුගැනීම මේ වෙද්දි අන්තර්ජාලය හරහා මිලියන ගණනකගේ හදවත් ස්පර්ශ කරන්න සමත් වෙලා තියෙනවා. කොන්දේසි විරහිත ආදරය කියන්නේ මොකක්ද කියලා ලෝකයටම පෙන්නපු මේ සෙනෙහෙබර බැඳීම ගැන හැමෝම කතා වෙන්නේ දැඩි කම්පනයකින්.