බන්ධනාගාරය ඇතුළේ රැඳවියන් පිරිසක් ආරම්භ කරපු විරෝධතාවයක් මේ වෙද්දි මහා කැරැල්ලක් බවට පත්වෙලා කියලයි ආරංචි වෙන්නේ.
තත්ත්වය කොයි තරම් දරුණු වෙලාද කියනවා නම්, මේ කැරැල්ල පාලනය කරන්න පොලිසියට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන්නත් සිද්ධ වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ වෙද්දි තත්ත්වය පාලනය කිරීම සඳහා සාමාන්‍ය පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය (STF), කැරලි මර්දන ඒකකය වගේම ගුවන් හමුදාවත් බන්ධනාගාරය වටකරලා ආරක්ෂාවට කැඳවලා තියෙනවා. මේ නිසා බන්ධනාගාරය අවට ප්‍රදේශය පුරාම තියෙන්නේ දැඩි යුදමය ස්වභාවයක්.
ඇතුළෙන් එන ආරංචිවල හැටියට මේකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ බන්ධනාගාරය ඇතුළේ තියෙන දැඩි ඉඩකඩ ප්‍රශ්නය. හරියට ඉන්න හිටින්න තැනක් නැති, නාන්න හෝ වැසිකිළි යන්න අවම සනීපාරක්ෂක පහසුකම්වත් නැති නිසා රැඳවියන්ට මේක අපායක් වෙලා කියලයි ඔවුන් කෑගහන්නේ. ඒ වගේම තමන්ගේ නඩු කටයුතු අවුරුදු ගණන් ඇදෙන නිසා ඒවා කඩිනමින් අහලා අවසන් කරන්න කියලත් ඔවුන් බලධාරීන්ට බල කරමින් ඉන්නවා.
මේ ප්‍රශ්නය මෙච්චර දුරදිග යන්න ප්‍රධානම හේතුවක් තියෙනවා. පහුගිය මාසේ මීගමුව බන්ධනාගාරයේ ඇතිවුණු මහා ගැටුම ඔබට මතක ඇති. එදා ඒ ගැටුමෙන් පස්සේ එතන හිටපු රැඳවියන් පිරිසක් මේ පල්ලන්සේන බන්ධනාගාරයට මාරු කරලා එව්වා. ඒකෙන් පල්ලන්සේන හිරගෙදර සෙනඟින් පිරිලා ඉතිරිලා ගිහින් ඉඩකඩ නැතිවුණු එක තමයි අද මේ විදිහට පුපුරලා ගියේ කියලයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.