පාසල් නිවාඩුවත් එක්ක අපේ පුංචි දරුවන්ට දැන් තියෙන ලොකුම විනෝදාංශය තමයි සරුංගල් යවන එක. හැබැයි විනෝදෙට කරන මේ වැඩේ නිසා අපේ පුංචි දරුවන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්වෙලා තියෙනවා කියලා රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ඇඟ කිලිපොළා යන නිවේදනයක් නිකුත් කරලා තියෙනවා.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා පෙන්වා දෙන විදියට, මේ දවස්වල සරුංගල් යවන්න ගිහින් සිද්ධවෙන හදිසි අනතුරු ඉතාමත් ශීඝ්‍රයෙන් වැඩි වෙලා.
මෙතැනදී ගොඩක්ම භයානක තත්ත්වය තමයි සරුංගල් නූල් අධිබලැති විදුලි රැහැන්වල පැටලීම. සමහර දරුවෝ පාවිච්චි කරන නූල්වලින් විදුලිය ගමන් කරන නිසා, ක්ෂණිකව විදුලි සැර වැදිලා බරපතල විදියට පිච්චිලා රෝහල්ගත කරන අවස්ථා දැන් බහුලව වාර්තා වෙනවාලු.
වෛද්‍යවරු කියන විදියට මේ විදුලි සැර වැදීමෙන් දරුවන්ගේ අත්, බාහු සහ පපුව ප්‍රදේශයේ ස්නායු සහ රුධිර වාහිනී සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න පුළුවන්. ඒ තත්ත්වය කොච්චර දරුණුද කිව්වොත්, සමහර වෙලාවට දරුවන්ගේ ඒ අවයව යථා තත්ත්වයට පත් කරන්න බැරි නිසා ශල්‍යකර්ම කරලා අත් පා කපා ඉවත් කරන්න පවා සිද්ධ වෙනවා කියලා විශේෂඥ වෛද්‍යවරු කම්පාවෙන් යුතුව පවසනවා. ඒ වගේම ක්ෂණික ජීවිත හානි පවා මේ හරහා සිද්ධ වෙන්න පුළුවන්.
විදුලි සැර වැදීම්වලට අමතරව, යාළුවෝ රංචු ගැහිලා උස තට්ටු ගොඩනැගිලි සහ අනාරක්ෂිත ස්ථාන උඩට නැගලා සරුංගල් යවන්න ගිහින් බිමට වැටිලා වෙන අනතුරුත් මේ දවස්වල අඩුවක් නැහැ. කණ්ඩායම් පිටින් දුවද්දී එකිනෙකා හැප්පිලා බරපතල තුවාල සිද්ධ කරගන්න අවස්ථාත් ගොඩක් වාර්තා වෙනවා.
දරුවන්ට විනෝද වෙන්න නිදහස දෙන එක හරි. හැබැයි ඒ විනෝදේ නිසා දරුවාගේ ජීවිතේට අනතුරක් වෙන්න දෙන්න එපා. අධිබලැති විදුලි රැහැන් තියෙන තැන්වල, උස අනාරක්ෂිත ස්ථානවල සරුංගල් යවන්න දරුවන්ට ඉඩ දෙන්න එපා කියලා රිජ්වේ රෝහලේ අධ්‍යක්ෂවරයා සමස්ත සමාජයෙන්ම දැඩිව ඉල්ලා සිටිනවා.
ඔබේ දරුවාත් සරුංගල් යවන්න ආස කෙනෙක් නම්, අදම මේ ගැන දරුවාව දැනුවත් කරන්න. ඒ වගේම අනිත් දෙමව්පියන්ව දැනුවත් කරන්න මේ පණිවිඩය හැමෝම අතරේ Share කරන්නත් අමතක කරන්න එපා!