තමන්ගේ ආදරණීය අක්කාගේ විවාහ උත්සවය ඉවරවෙලා සතුටින් ගෙදර එමින් හිටපු පවුලේ අයට මේ වගේ මහා විපතක් වෙයි කියලා නම් කවුරුත් හීනෙකින්වත් හිතන්න නැතුව ඇති.
ඊයේ පස්වරු 5.00 ට පමණ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ මඟලෙගොඩ - නයිවල මාර්ගයේදී තමයි මේ බිහිසුණු අනතුර වෙලා තියෙන්නේ. පවුලේ අය ගමන් කරමින් හිටපු වෑන් රථය එකපාරටම පාලනයෙන් ගිලිහී ගොස් පාර අයිනේ තිබුණු විදුලි රැහැන් කණුවක ගැටී තිබෙනවා. වෑන් රථය පදවාගෙන ඇවිත් තියෙන්නේ මනාලියගේ ආදරණීය මල්ලියි.
මෙම අවාසනාවන්ත අනතුරින් වෑන් රථය පැදවූ වේයන්ගොඩ හීන්දෙනිය ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි නවෝද් චතුරංග නමැති තරුණයාත්, මනාලියගේ 80 හැවිරිදි මිත්තණිය වූ W.A. වික්‍රමාරච්චි නමැති මව්තුමියත් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථය තුළ මනමාලියගේ මව, පියා සහ මිත්තණිය ඇතුළු පවුලේ ඥාතීන් 9 දෙනෙකු ගමන් කරමින් ඉඳලා තියෙනවා. අනතුරෙන් පස්සේ මේ සියලු දෙනාම ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කරලා තියෙන අතර, ඉන් මල්ලී සහ මිත්තණිය මියගොස් ඇති බවත්, සෙසු 7 දෙනා තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබන බවත් වේයන්ගොඩ පොලිසිය පවසනවා.
මඟුල් ගෙදරක සතුට සම්පූර්ණයෙන්ම උදුරාගත් මේ බිහිසුණු අනතුරට හේතුව විදිහට මූලික විමර්ශනවලදී අනාවරණය වෙලා තියෙන්නේ, රියදුරු ලෙස කටයුතු කළ මල්ලිට එකපාරටම නින්ද යාමයි.