වයස අවුරුදු 10යි මාස 8ක් වන අහිංසක දැරියකට ඇගේම පියා සහ සීයා විසින් ලිංගික අපයෝජනයන් සිදුකළ බවට චෝදනා කරමින් අම්බලන්තොට පොලිසියට පැමිණිලි දෙකක් ලැබී තිබෙනවා.
තමන්ට මුහුණ දීමට සිදු වූ මේ තිරිසන් සිදුවීම ගැන දැරිය සිය ආච්චී (මිත්තණිය) සමඟ පොලිසියට පැමිණ ප්‍රකාශ ලබාදීමෙන් පසුවයි පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබෙන්නේ.
පොලිසිය සඳහන් කරන ආකාරයට, දැරියගේ සීයා විසින් අවස්ථා කිහිපයකදීම ඇයට ලිංගික අපයෝජන සිදුකර තිබෙනවා. එමෙන්ම මේ බව කිසිවෙකුට හෝ පැවසුවහොත් මරා දමන බවට තර්ජනය කර දැරිය දැඩි ලෙස බිය ගන්වා තිබූ බවයි ඇගේ ප්‍රකාශයේ සඳහන් වන්නේ.
එපමණක්ද නොව, දෙවන පැමිණිල්ලෙන් හෙළිවන්නේ දැරියගේම පියා විසින්ද අවස්ථා ගණනාවකදී ඇයට මෙලෙස ලිංගික අපයෝජනයන් සිදුකර ඇති බවයි. ඔහුද මේ බව කිසිවෙකුට නොපවසන ලෙස තර්ජනය කර තිබෙනවා.
පසුගිය 9 වැනිදා පාසල් ක්‍රීඩා කටයුත්තක් සඳහා ගාල්ල ප්‍රදේශයට ගිය මෙම දැරිය, අනතුරුව මිරිස්ස ප්‍රදේශයේ පිහිටි සිය ආච්චිගේ නිවසට ගොස් තිබෙනවා. එහිදී දැරිය තමන්ට සිදුවූ මෙම අමානුෂික සිදුවීම් පිළිබඳව ආච්චි සහ ඥාතියෙකු හමුවේ පවසා ඇති අතර, පසුව ඔවුන් විසින් දැරිය වහාම පොලිසිය වෙත කැඳවාගෙන ගොස් තිබෙනවා.
දැරියගෙන් ලබාගත් ප්‍රකාශවලට අනුව වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, ඇයව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
චෝදනා එල්ල වී ඇති සීයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් ඔහුගේ නිවසට ගියද, එම අවස්ථාවේදී ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා.
එමෙන්ම දැරියගේ පියා අත්අඩංගුවට ගැනීමට සෙවීමේදී හෙළිවී ඇත්තේ ඔහු ඒ වන විටත් මුහුදු රැකියාව සඳහා පිටත්ව ගොස් ඇති බවයි.
මෙම සිද්ධීන් දෙක සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසිය මගින් වෙන වෙනම විමර්ශන පවත්වන අතර, පලාගොස් සිටින සැකකාර පියා සහ සීයා අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකයි.