පවුලේ අයටත්, නෑදෑ හිතවතුන්ටත් වඩා ඒ මඟුල් ගෙදර වැඩවලට හදවතින්ම මහන්සි වුණේ 21 හැවිරිදි නවෝද් මල්ලී. "අක්කගේ වෙඩින් එක ලස්සනටම ගන්න ඕනේ" කියන එක විතරයි ඔහුගේ එකම හීනය වුණේ.
මංගල උත්සවයේ සියලු කටයුතු සාර්ථකව අවසන් වුණා. හවස 5.00 ට විතර, සතුටින් හිනාවෙවී, වෙහෙස මහන්සිය මතක නැතුව පවුලේ අයත් එක්ක නවෝද් වෑන් රථයට නැග්ගේ ආපසු ගෙදර එන්න. වෑන් රථයේ සුක්කානම තිබුණේ නවෝද්ගේ අතේ.
නමුත්... දෛවයේ සෙල්ලම මොන තරම් කුරිරුද?
වේයන්ගොඩ, මඟලෙගොඩ - නයිවල පාරේදී, තත්පර ගණනකින් මුළු ලෝකයම කඩු කඩ වී ගියා. එකපාරටම පාලනයෙන් ගිලිහුණු වෑන් රථය පාර අයිනේ තිබුණු විදුලි කණුවේ ගැටුණේ මුළු පළාතම දෙවනත් කරමින්. තත්පර කිහිපයකට කලින් සතුටින් හිනාවුණු පවුලේ අයගේ කෑගැසීම් හඬින් ඒ පාරම භීෂණයෙන් පිරී ගියා.
අනතුරෙන් බරපතල ලෙස තුවාල ලැබූ 21 හැවිරිදි නවෝද් චතුරංග මල්ලී, මුළු පවුලම අලුතින් පටන් ගත් සතුට මැද තනි කරලා, සදාකාලිකවම දෑස් පියා ගත්තා.
අලුත කසාද බැඳපු අක්කාට, මංගල ඇඳුම ගලවන්නත් කලින් තමන්ගේම මල්ලීගේ නිසල සිරුර බදාගෙන හඬා වැටෙන්න සිදුවේවි කියලා හීනෙකින්වත් හිතන්න නැතුව ඇති. මුළු හීන්දෙනිය ගමම එකම මළගෙයක් බවට පත්වුණා.
ඔහුගේ වියෝව දරාගන්න බැරුව, හදවත පාරන අඳෝනාවක් මුහුණු පොත පුරාත් මෙලෙස සටහන් වී තිබුණා..
"මොකක්ද මේ වුණේ කියලා හිතාගන්න බෑ මල්ලි .... පිස්සු වගේ කට්ටියටම.. උඹ මාර හොඳ කොල්ලෙක්.. තවමත් හීනයක් වගේ කට්ටියටම.. මෙවන් අකල් මරණයක් යළි කිසිම දවසක සිදු නොවේවා... නිවන් සුව ලැබේවා නවෝද් මල්ලී..."