මේ දිනවල පවතින වැසි සහිත කාලගුණයත් එක්ක "ඉඟුරු අල කුණු වීමේ රෝගය" ශීඝ්‍රයෙන් පැතිරීමේ අවදානමක් මතුව ඇති බවයි වාර්තා වෙන්නේ. වාණිජ භෝගයක් ලෙස දිවයින පුරා ඉතා සාර්ථකව සිදුකරන ඉඟුරු වගාව මේ වන විට කුරුණෑගල, මහනුවර, මාතලේ සහ අම්පාර ඇතුළු ප්‍රදේශ රැසක හෙක්ටයාර 2000කට අධික භූමි ප්‍රමාණයක ව්‍යාප්තව පවතිනවා.
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් දමයන්ති සමරසිංහ මහත්මිය පවසන්නේ, වගාව ආරක්ෂා කර ගැනීම සඳහා ගොවීන් මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි.
ගොවීන්ට දුන් දැඩි උපදෙස මෙන්න:
දැනටමත් මෙම රෝග ලක්ෂණ පෙන්නුම් කරන හෝ රෝගය වැළඳී ඇති ඉඟුරු පඳුරු ඇත්නම්, රෝගය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා එම පඳුරු වහාම ගලවා පුලුස්සා විනාශ කර දමන ලෙස ඇය වගාකරුවන්ට දැඩිව දැනුම් දෙනවා.