භූමිකම්පාවෙන් කඩා වැටුණු පාසල් හදන්න කෝටි ගණනක් අරන් ගමට යයි!
ලෝක ප්‍රකට පොප් ගායිකා ෂකීරා කියන්නේ වේදිකාව උඩ විතරක් නෙවෙයි, සැබෑ ජීවිතයෙත් වීරවරියක් කියලා ඇය නැවතත් ඔප්පු කරලා පෙන්නුවා. පසුගිය අගෝස්තු 10 වැනිදා ඇගේ මව්බිම වන කොලොම්බියාවට බලපෑ දරුණු භූමිකම්පාවෙන් පස්සේ අසරණ වුණු දරුවන් වෙනුවෙන් ඇය මේ විදිහට පෙරමුණ අරගෙන තියෙනවා.
රික්ටර් මාපක 7.4ක ප්‍රබලත්වයෙන් ආපු මේ භූමිකම්පාව නිසා පුද්ගලයන් සිය ගණනකට ජීවිත අහිමි වුණා. ඒ වගේම බටහිර කොලොම්බියාවේ චොකෝ පළාතේ විතරක් පාසල් 200කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියා. මේ ආරංචිය ඇහුණු ගමන්ම ෂකීරා ඊයේ (17) සියලු වැඩ පසෙක දාලා චොකෝ පළාතේ අගනුවර වන ක්විබ්ඩෝ වෙත හදිසි සංචාරයක් යෙදුණා.
එහිදී ඇය විනාශ වුණු පාසල් නිරීක්ෂණය කරනවා වගේම, ඒ දරුවන් සහ ගුරුවරුන් හමුවෙලා ඔවුන්ගේ දුක බෙදාගෙන, ප්‍රදේශයේ අවශ්‍යතා ගැන බලධාරීන් එක්කත් සාකච්ඡා කරන්න අමතක කළේ නැහැ.
ෂකීරා මේ ගමන ගියේ හිස් අතින් නම් නෙවෙයි. මේ පාසල් ටික ආයෙමත් ගොඩනගන්න ඇමරිකානු ඩොලර් මිලියන 1.25ක (රුපියල් කෝටි ගණනක) දැවැන්ත මුදලක් ලබාදෙන්න ඇය කටයුතු කරලා තියෙනවා. මේ මුදල එකතු වෙන්නේ මෙන්න මේ විදිහටයි:
ෂකීරා සහ Live Nation ආයතනය එක්ව: ඩොලර් 500,000ක්
FIFA ජාත්‍යන්තර පාපන්දු සංගමයේ Global Citizen Education Fund හරහා: ඩොලර් 500,000ක්
ලතින් ඇමරිකානු සහ කැරිබියානු සංවර්ධන බැංකුව (CAF): ඩොලර් 250,000ක්
මේ සියලුම මුදල් ෂකීරාගේම පදනමක් වන Fundación Pies Descalzos හරහා පාසල් යළි ගොඩනැගීම සහ දරුවන් නැවත අධ්‍යාපනයට යොමු කිරීම වෙනුවෙන් යෙදවීමට නියමිතයි. මේ අතර, ඇයත් එක්ක මේ ගමනට එකතු වුණු ප්‍රකට දානපති හොවාර්ඩ් බෆට් (Howard Buffett) මහතාත් තමන්ගේ පදනම හරහා චොකෝ පළාතේ තවත් පාසල් 10ක් ප්‍රතිසංස්කරණය කරලා දෙන්න පොරොන්දු වෙලා තියෙන එකත් විශේෂත්වයක්.
"දරුවන් පාසල් නොයන සෑම දිනකම ඔවුන්ගේ අනාගතයෙන් දිනක් අහිමි වෙනවා..."
ෂකීරා එහෙම කියමින් අවධාරණය කළේ හදිසි සහන කටයුතුවලින් පස්සෙත් මේ පාසල් ගොඩනැගීම අඛණ්ඩව කළ යුතුම දෙයක් බවයි. වසර 20කට වැඩි කාලයක් තිස්සේ චොකෝ පළාතේ අධ්‍යාපනයට උදව් කරන ඇය, ඉස්සරහට මේ පළාතේ තාක්ෂණික විශ්වවිද්‍යාලයක් යළි ගොඩනැගීමටත් තමන්ගේ පෞද්ගලික දායකත්වය ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා කියලයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.