බිහිසුණු ගුහා සංකීර්ණයක් මැදින් ගිහින් දකින මේ අපූරු ජල තටාකය බලන්න හැමෝම යන්නේ හරිම ආසාවෙන්. හැබැයි මින් ඉදිරියට නිල්දිය පොකුණට යන්න හිතන් ඉන්නවා නම්, මේ අලුත් ආරංචිය ගැන අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න වෙනවා!
මින් ඉදිරියට රාවණා ඇල්ල අභයභූමියේ පිහිටා තිබෙන නිල්දිය පොකුණ ආශ්‍රිත සියලුම සංචාරක කටයුතු, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය සහ නියාමනය යටතට පත් කරන්න රජය තීරණය කරලා තියෙනවා. මේ සඳහා අදාළ නියෝග ගැසට් පත්‍රයේ පළ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතියත් දැනටමත් හිමිවෙලා අවසන්.
බදුල්ල දිස්ත්‍රික්කයේ, කරඳගොල්ල ග්‍රාම නිලධාරි වසමේ අභ්‍යන්තර ගුහා සංකීර්ණයක් ඇතුළේ හැංගිලා තියෙන මේ නිල්දිය පොකුණ කියන්නේ ඉතාම දුර්ලභ ගණයේ ස්වභාවික ජල මූලාශ්‍රයක්. ඒ සුවිශේෂී භූගෝලීය ලක්ෂණ නිසාම මේ වෙද්දී මෙතනට එන සංචාරකයන්ගේ ප්‍රමාණය සීඝ්‍රයෙන් වැඩි වෙලා.
ඉතින් මේක අනාගතය වෙනුවෙන් සංරක්ෂණය කළ යුතුම දුර්ලභ ස්වභාවික සම්පතක් නිසා, තවදුරටත් කිසිම නියාමනයක් නැතුව හිතුමතේට සංචාරක කටයුතු කරන්න ඉඩ දෙන්න බැහැ කියලයි බලධාරීන් තීරණය කරලා තියෙන්නේ.
මේ වැඩේ හිතුමතේට කරපු එකක් නෙවෙයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ අදාළ රාජ්‍ය ආයතන නියෝජිතයන්ගෙන් සමන්විත විශේෂ තාක්ෂණික කමිටුවක් පත් කරලා, ඔවුන් දීපු අධ්‍යයන වාර්තාවක නිර්දේශ මත තමයි මේ නීති සකස් කරලා තියෙන්නේ. මේ වෙද්දි නීති කෙටුම්පත් සම්පාදකවරයාත් මේවා පරීක්ෂා කරලා තහවුරු කරලයි තියෙන්නේ.
ඒ අනුව, පරිසර අමාත්‍යවරයාගේ යෝජනාවට අනුව වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනතේ විධිවිධාන යටතේ මේ අදාළ නියෝග ඉදිරියේදී ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරන්න නියමිතයි.