මහනුවර ඇසළ පෙරහර බලන්න ගිය විශාල පිරිසක් මැද සිදුවුණු මේ අපූරු සිදුවීම දැන් හැමෝගෙම අවධානය දිනාගෙන ඉවරයි.
සිද්ධිය වුණේ මෙහෙමයි... නුවර පෙරහරේ ආරක්ෂාවට හිටපු පොලිස් නිලධාරීන් පිරිසක් පාරේ යද්දී, මඟ සිටි අලි බාසුන්නැහේ කෙනෙක්ව නතර කරලා තියෙනවා. ඒ වෙන මුකුත් නිසා නෙවෙයි, එයාගේ ඉනේ තිබුණු විශේෂ පිහිය දැකලා.
"මම අලි බලාගන්න කෙනෙක්" කියලා බාසුන්නැහේ කියද්දී, ආරක්ෂාව ගැන වගකීම තියෙන නිලධාරීන් කියලා තියෙන්නේ, "එහෙනම් අලියා එක්කන් එන්න, අපි පිහිය දෙන්නම්" කියලා.
ඔහු ටික වෙලාවකින් තමන්ගේ අලියත් දක්කාගෙන කෙලින්ම පොලිස් නිලධාරීන් ඉන්න තැනට ඇවිත්.. අන්තිමේදී බාසුන්නැහේ තමන්ගේ පිහියත් අරගෙනයි එතනින් ගිහින් තියෙන්නේ.
ඒත් ඔයාලා දන්නවද මේ අලි බාසුන්නැහේලා ළඟ තියෙන පිහිය පිටුපස තියෙන ඇත්තම කතාව?
ගොඩක් අය හිතන්නේ මේක නිකන්ම නිකන් පිහියක් කියලා. නැහැ, ඒක අලි බාස් මාමලාගේ වෘත්තීය ගෞරවයේ සංකේතයක්...මාවනැල්ලේ එකම එක පරම්පරාවකට විතරක් සීමා වුණු පාරම්පරික කර්මාන්තකරුවන් ලවා රුපියල් 8,000ක් විතර දීලා හදාගන්න මේ පිහියේ මිටේ මකර සංකේත සහ නාග පෙන කැටයම් කරලා තියෙනවා. මේ කැටයම් වෙන කිසිම පිහියක නෑ...
මේ පිහිය තියෙන්නේ කිසිසේත්ම අලියාට හිරිහැර කරන්න නෙවෙයි. අලියා කොහේ හරි අරන් යද්දී අතරමඟදී ලොරියක් කැඩුණොත් සතාට කන්න කොළ අත්තක් කපාගන්න, අලියාගේ නියපොතු සුද්ධ කරන්න සහ පොල් ලෙලි කපාගෙන අලියා නාවන්න වගේ වැඩවලටයි මේ විශේෂ පිහිය පාවිච්චි කරන්නේ.