ඊයේ (26) කත්මණ්ඩු අගනුවර ආශ්‍රිත කඳුකර කලාපයට ආපු හදිසි ජල රකුසා නිසා මේ වෙද්දී පුද්ගලයින් 1500කට ආසන්න පිරිසක් අතුරුදන් වෙලා කියලා නේපාල ආපදා කළමනාකරණ අධිකාරිය නිල වශයෙන් නිවේදනය කරලා තියෙනවා.
වඩාත්ම කම්පනයට කරුණ වෙන්නේ මේ අතුරුදන් වූවන්ගෙන් 800කට වැඩි පිරිසක් විදෙස් සංචාරකයින් වීමයි. හෙලිකොප්ටර් යානා යොදාගෙන මේ වෙද්දිත් දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක වුණත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නම් කියන්නේ තවත් මළසිරුරු හමුවෙයි කියලා ලොකු බියක් තියෙනවා කියලයි.
අතුරුදන් වූ සංචාරකයින්: ඉන්දියාවෙන් 177ක්, ඇමරිකාවෙන් 63ක්, ඕස්ට්‍රේලියාවෙන් 34ක්, බ්‍රිතාන්‍යයෙන් 33ක් සහ කැනඩාවෙන් 25ක් ඇතුළු රටවල් 20ක පිරිසක් අතුරුදන්.
ටිබෙට් දේශසීමාවේ තත්ත්වය: ටිබෙටයේ ගියිරොන්ග් ප්‍රාන්තයෙන් පමණක් 558 දෙනෙක් අතුරුදන් වෙලා (ඒ අතරින් 260ක් විදේශිකයින්).
මේ මහා විනාශයෙන් යන්තම් පණ බේරාගත්ත 68 හැවිරිදි කේෂව් ප්‍රසාද් බරාල් කියන කඳුළු කතාව ඇහුවොත් කාගෙත් ඇස්වලට කඳුළු එනවා නිත්‍යයි.
"එකපාරටම මඩයි පස් එක්ක ආපු ලොකු වතුර පාරක් කෙළින්ම අපි දිහාට ආවා. ඒක අපේ ගෙදරට එනවා දැකලා මම මගේ බිරිඳගේ අතින් අල්ලගෙන උඩ තට්ටුවට යන්න හැදුවා. ඒත් මඩ පස් පහරට ඇයව ගසාගෙන ගියා. මගේ බිරිඳ තවමත් කොහේ හරි මඩ යට වැටිලා ඇති. ඇය තවත් නැහැ..."
පැය හතරකට පස්සේ හෙලිකොප්ටරයකින් ඔහුව බේරාගෙන තිබුණා. ඒ වගේම තවත් දිවි ගලවාගත් අයෙක් පවසා තිබුණේ මේ මහා ගංවතුරෙන් තමන් බේරුණේ ඇඹුල් අඹ ගහක එල්ලිලා පණ ගැහි ගැහී හිටපු නිසා කියලයි.
මුලින්ම හැමෝම හිතුවේ රික්ටර් මාපකයේ 4.4ක භූමිකම්පාවක් නිසා මේක වුණා කියලයි. ඒත් ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) හොයාගෙන තියෙන විදිහට මේ සෙලවීම වෙලා තියෙන්නේ භූමිකම්පාවක් නිසා නෙවෙයි, මහා හිම කන්දක් සහ පාෂාණ තට්ටුවක් එකපාරටම කඩාගෙන වැටුණු වේගයටයි!
දැන් තියෙන ලොකුම අවදානම තමයි, ටිබෙට්-නේපාල දේශසීමාවට ඉහළින් අවහිර වෙලා තියෙන විලක් කඩාගෙන වැටුණොත් තවත් මහා විනාශයක් වෙන්න පුළුවන් කියලා චීන බලධාරීන් අනතුරු අඟවලා තියෙන එක.