සජීවීව AI තාක්ෂණයේ මඟපෙන්වීම ලබාගනිමින් මොළයේ සංකීර්ණ සැත්කමකට මුහුණ දුන් ලොව පළමු රෝගියාගේ මොළයේ තිබූ ගෙඩිය සාර්ථකව ඉවත් කිරීමට ලන්ඩන් විශ්වවිද්‍යාල රෝහලේ ශල්‍ය වෛද්‍යවරුන් සමත්ව තිබෙනවා.
බ්‍රිතාන්‍යයේ බෙඩ්ෆර්ඩ්ෂයර් හි පදිංචි 48 හැවිරිදි රයිස් හිබට් කියන්නේ ඉතාම නිරෝගී දිවියක් ගත කරපු, දිනපතා දිවා ආහාර විවේකයේදී කිලෝමීටර් 3කට වඩා ඇවිදින ක්‍රියාශීලී පුද්ගලයෙක්. නමුත් මීට මාස 18කට පෙර දිනක ඇවිදිමින් සිටියදී හදිසියේම සිහිසුන්ව ඇදවැටීමත් සමඟ කළ වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඔහුගේ මොළයේ පිටියුටරි ග්‍රන්ථියේ මිලිමීටර් 11ක පමණ ගෙඩියක් හටගෙන ඇති බවයි.
පිටියුටරි ග්‍රන්ථිය පිහිටා තිබෙන්නේ පෙනීම පාලනය කරන දෘෂ්ටි ස්නායු සහ ප්‍රධාන රුධිර නාල ආසන්නයේම බැවින්, මෙම ගෙඩිය නිසා ඔහුගේ පෙනීම මුළුමනින්ම අහිමි වීමේ දැඩි අවදානමක් මතුව තිබුණා.
සැත්කම සිදුවන අතරතුර වීඩියෝ දර්ශන සජීවීව (Real-time) විශ්ලේෂණය කළ AI මෙවලම, මොළය තුළ සැඟවී ඇති සියුම් රුධිර නාල සහ සංවේදී ස්නායුවලට හානියක් නොවී ගෙඩිය ඉවත් කළ හැකි ආරක්ෂිතම මාර්ගය වෛද්‍යවරුන්ට පෙන්වා දී තිබෙනවා.
AI මඟපෙන්වීම නිසා ස්නායුවලට හෝ රුධිර නාලවලට කිසිදු හානියක් නොකර ගෙඩියෙන් උපරිම කොටස ආරක්ෂිතව ඉවත් කර ගැනීමට ශල්‍ය වෛද්‍ය කණ්ඩායමට හැකිවුණා.
මේ ඓතිහාසික සැත්කමෙන් පසු රයිස් හිබට් මේ වන විට ඉතා සාර්ථකව සුවය ලබමින් සිටින අතර, වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ මෙම AI තාක්ෂණය ඉදිරියේදී මොළයේ සැත්කම් ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් සිදු කරනු ඇති බවයි.